මරණ දඬුවම නියම වූ සිරකරුවෙක් පැන යයි

කොළඹ ඇස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 16 වැනිදා රාත්‍රී 11.00 ට පමණ මෙලෙස පැනගොස් ඇත්තේ සිර අංක 16748 ඉරාන් භාරත නමැති දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

කොළඹ ඇස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 16 වැනිදා රාත්‍රී 11.00 ට පමණ මෙලෙස පැනගොස් ඇත්තේ සිර අංක 16748 ඉරාන් භාරත නමැති දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි. මිනී මැරීමේ චෝදනාවකට මරණීය දණ්ඩනය නියමව සිටි මෙම සිරකරුවාගේ ඇසක පැවැති තුවාලයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අක්ෂි රෝහලට ඇතුළත් කර සිටියදී මෙලෙස පැනගොස් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සිරකරුවා ප්‍රතිකාර ලැබීමට කොළඹ අක්ෂි රෝහලට ඇතුළත් කර සිටියදී ඔහුගේ ආරක්ෂාව සඳහා යොදවා සිටියේ බන්ධනාගාර නියාමක නිලධාරින් දෙදෙනකු පමණක් බවත්, මරණීය දණ්ඩනය නියමවූ සිරකරුවකු සඳහා ලබාදෙන වෙනත් කිසිදු ආරක්ෂක නිලධාරියකු ඒ මොහොතේ ඔහු සමග සිට නැති බවත් වාර්තා වේ.

මෙවැනි මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවකු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවක බන්ධනාගාර ජේලර්වරයකු, සැරයන්වරයකු මෙන්ම ආයුධ සන්නද්ධ නිලධාරීයකු සහ නියාමකවරයකු ඇතුළු නිලධාරින් පස් දෙනෙක් පමණ යෙදවිය යුතුව ඇති අවස්ථාවක මෙම රැඳවියා සමග ආරක්ෂාවට සිට ඇත්තේ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙක් පමණක් බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම එදින පැනගිය සිරකරුවාගේ ආරක්ෂාවට යොදවා සිටි බන්ධනගාර නිලධාරීන් දෙදෙනාගේ සේවය බන්ධනාගාර පාලනාධිකාරිය විසින් ඊයේ (18) දිනයේදී අත්හිටුවා ඇතැයි ද බන්ධනාගාර ආරංචි පවසයි.

නිමන්ති රණසිංහ