ජනපති ජන්ම දිනය අද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හැටපස් වැනි ජන්ම දිනය අද (3) යෙදී තිබේ.

ආගමික වැඩසටහන්වලට මුල් තැන දෙමින් ජන්ම දිනය සමරන ජනාධිපතිවරයා ප්‍රජා සත්කාරක වැඩසටහන්වලටද අද එක් වෙයි. ජනපති ජන්ම දිනය නිමිත්තෙන් පසුගිය 29 වැනිදා සිට ප්‍රජා සත්කාරක සේවා ආරම්භ කළ අතර ඒ යටතේ දිවයින පුරා පිහිටි රෝහල් 19කදී වෛද්‍ය සායන පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

ජනාධිපති කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට සම්බන්ධීකරණ දායකත්වය ලබා දී තිබූ අතර ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාධ්‍යවේදීන් සඳහාද සෞඛ්‍ය සායනයක් පැවැතුණි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන කේන්ද්‍රස්ථාන කැර ගනිමින් ජනාධිපතිවරයාගේ ජන්ම දිනය නිමිත්තෙන් ආගමික වැඩසටහන් ක්‍රියාත්මක විය.