සිසුවියකට ගුරුවරියක පහරදී රෝහලේ

සූරියවැව ජාතික පාසලේ හය ශේ්‍රණියේ ඉගෙනුම ලැබූ සිසුවියකට පන්ති භාර ගුරුවරියක කළ පහරදීමක් හේතුවෙන් පෙරේදා (7දා) රෝහල් ගත කර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

රෝහල් ගතකර ඇත්තේ සූරියවැව ජාතික පාසලේ හය වසරේ ඉගෙනුම ලබන වෙල්ලප්පිලි ආරච්චිගේ ඉසුරි පබසරා නමැති 11 හැවිරිදි දැරියකි. ඇය මේ වන විට සූරියවැව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

සිද්ධිය පිළිබඳව දැරිය මෙසේ පැවැසුවාය.

"පසුගිය දවසේ පන්ති භාර ටීචර් මට කිව්වා අම්මා පාසලට එක්ක එන්න කියලා. නමුත් මට දවස් දෙකක් යනකම් අම්මා ඉස්කෝලෙට එක්ක යන්න බැරි වුණා. ඒ ආච්චි අසනීප නිසා අම්මා මාතර ගිහින් හිටිය නිසා. මම ලොකු තාත්තගේ ගෙදර ඉඳන් තමයි ඒ දවස් ටිකේ ඉස්කෝලෙ ගියෙත්. අම්මට කෝල් කරලා කිව්වා ටීචර් එන්න කියනවා කියලා. අම්මා කිව්වා මාතර ඉඳන් බදාදා ආවම පාසලට යමු කියලා. නමුත් මම පෙරේදා උදේ ඉස්කෝලෙ යන්නේ නැතිව ගෙදර ඉන්න හැදුවෙ අම්මා නැතිව ඉස්කෝලෙට එන්න එපා කියලා ටීචර් කියපු නිසා. ඒත් ඒ වෙලාවේ ලොකු තාත්තා කිව්වා කමක් නෑ ඉස්කෝලෙට යන්න බ්‍රහස්පතින්දාට අම්මා ඉස්කෝලෙට යාවි කියලා. මම ඉස්කෝලෙට ගියාම උදේ 8.00ට විතර ටීචර් මං ළඟට ඇවිත් උඹ මොකටද ඉස්කෝලෙට ආවේ, මං කිව්වා නේද අම්මා නැතිව එන්න එපා කියලා කිව්වා. එතකොට මම ටීචර්ට කිව්වා අම්මා මාතර ගිහින් හෙට එක්ක එන්නම් කියලා. ඒ වෙලාවේ ටීචර් මට ගැහුවා. ඒ ගහනකොට මං විසිවෙලා ගිහින් බිත්තියේ ඔළුව වැදුණා. ඊට පස්සෙත් ටීචර් ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එකටත් එක්ක ගිහින් ගුරුවරුන් හා ළමයින් ඉස්සරහදීත් මට මගේ මැරුණු තාත්තා ගැන කිය කියා බැන්නා. ටීචර් කිව්වා මේකිගෙ තාත්තා මැරුණෙත් කට හින්දා ගුටි කාලයි කියලා. ආයේ මට ඉස්කෝලෙ යන්න පුළුවන් කමක් නෑ. ළමයි පවා එදා ඉස්කෝලෙදි මට විහිළු කළා. උදේ ටීචර් ගැහුවම මම ගෙදර යන්නම් කිව්වම මට යන්න දුන්නෙත් නැතිව මම හිටපු පන්තියෙන් මාරු කරලා හය බී පන්තියේ වාඩි කෙරෙව්වා. අනෙක් ළමයින්ටත් කිව්වා එක්කෙනෙක්වත් මා එක්ක කතා කරලා අහුවෙන්න එපා කියලා".

පහරකෑමට ලක්වූ සිසුවියගේ මව වන ඩබ්ලිව්. ඒ. කේ. අශෝකා මහත්මිය
"මම පදිංචි වෙලා ඉන්නේ සූරියවැව, මීගහජදුර. මගේ මහත්තයා මීට වසර කීපයකට කලින් මියගියා. මට ඉන්නේ දූලාම තුන් දෙනෙක්. ලොකු දුව ලෙඩෙක්. අනෙක් දුව මාතර අම්මගේ ගෙදර ඉන්නේ. පාසලේදී පහරදීම සිදුවෙලා තියෙන්නේ මගේ බාල දුවට. තාත්තා නැතිව මේ ළමයි තුන්දෙනාම මම නඩත්තු කරන්නේ කුලී වැඩ කරලා. මීට සති කීපයකට කලිනුත් දුව ඉස්කෝලෙදි කලන්තෙ දමලා පැය දෙකක් විතර යනකම්වත් කවුරුවත් ස්පිරිතාලෙකටවත් ගෙනයන්න කටයුතු කළේ නෑ. දරුවගේ ලොකු තාත්තට ආරංචි වෙලා තමයි ඉස්කෝලෙට ගිහින් වීල් එකකින් දරුවා රෝහලට ගෙන ගියේ. දරුවා රෝහලට ගෙන නොගියේ ඇයි කියලත් අපි ගුරුවරුන්ට ‍ෙදාස් කිව්වා. ඒකෙ පළිය තමයි මේ දරුවගෙන් ගන්නේ. දරුවා වරදක් කරලා තියේනම් දඬුවම් කළාට කමක් නෑ. අමානුෂික ලෙස පහර දීපු එකටයි අපි විරුද්ධ. මීට කලිනුත් මේ විද්‍යාලයේ මෙවැනි පහරදීම් කීපයක් සිදුවුණා. ළමයාට දෙපාරක් වමනෙත් ගියා. පසුව අපි සූරියවැව පොලිසියට පැමිණිලි කළා. පොලිසියෙන් කිව්වා ළමයා රෝහල් ගත කරන්න කියලා. ළමයට ගහපු පාරවල් තාම තියෙනවා.

මේ සම්බන්ධයෙන් සූරියවැව ජාතික පාසලේ විදුහල්පති කේ. එස්. එම්. ජයසිරි මහතාගෙන්ද විමසීමක් කළෙමු. ඔහු මෙසේ පැවැසීය.
පාසලේ සිසුවියකට පන්ති භාර ගුරුවරියක විසින් පහරදීමක් සිදුකළා කියලා මට දැනගන්න ලැබුණා. නමුත් සියලු දෙනාගෙන් මේ පිළිබඳව විමසීමක් කළා. මේ ළමයට පහර දෙනවා කවුරුවත් දැකලා නෑ. මේක තනිකරම බොරුවක්. මේ සිදුවීම සැලැසුමක් අනුව වූ දෙයක්. ඒ තමයි මේ ළමයගේ ලොකු තාත්තා කියන කෙනා මේ ප්‍රදේශයේම තියෙන වැලිවැව කියන පාසලේ විදුහල්පතිවරයායි. පාසල අපකීර්තියට පත් කරන්න කරපු දෙයක්.

සූරියවැව පොලිසියේ ස්ථානාධිපති ක්‍රිෂාන්ත සම්පත් ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි සිද්ධිය ගැන පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.