වැට් සංශෝධනයට කැබිනට් අනුමැතිය

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඊයේ (13) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

සම්මත වූ නව වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අනුව සියයට පහළොවේ බදු ප්‍රතිශතය නොවෙනස් වන අතර එම යෝජනා මාස 9ක පමණ කෙටි කාලයක් සඳහා වලංගු වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති සම කැබිනට් ප්‍රකාශන වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.

මේ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද යෝජනා ඉදිරිපත්වී තිබුණු අතර ඒවාද ඇතුළුව මෙය සම්මත වූ බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම සංශෝධිත පනත් කෙටුම්පත තිබුණටත් වඩා හොඳ පනත් කෙටුම්පතක් බවත් අඩුම පීඩනයක් ඇතිව එය ජනතාවට ඉතා කෙටි කාලයක් සඳහා ඉදිරිපත් කර ඇති බව ඇමැතිවරයා අවධාරණය කරයි.

පසුගිය රජය සමයේ ලබා ගෙන ඇති ට්‍රිලියන තුනක පමණ ණය බර ගෙවා ගැනීම සඳහා මහජනතාව වෙත මෙම බදු පැනවීමට අකමැත්තෙන් වුව සිදුවු බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

වැට් බදු සංශෝධිත පනත් කෙටුම්පත මෙයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකිරීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණය එය ව්‍යාවස්ථානුකූල නොවන බවට තීන්දුවක් ලබාදී තිබිණ.