නාමල් මෝටර් රථය ලක්ෂ 80කට විකුණලා

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි කියන ‘ෆෝඩ් මස්ටැංග්’ මෝටර් රථයක් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඊයේ(05) පස්වරුවේ කඩුවෙල ප‍්‍රදේශයේ ගරාජයක තිබියදී සිය භාරයට ගත්තේය.

එම මෝටර් රථය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් මිලදී ගත් ව්‍යාපාරිකයාද පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා තිබිණි.

මෙම රථය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා 2010 වසරේදී සිය මන්ත‍්‍රී බලපත‍්‍රය යටතේ ගෙන්වා වසර හයක් ගතවූ පසු වෙනත් ව්‍යාපාරිකයෙකුට විකුණන ලද්දක් යැයි මෝටර් රථයේ වත්මන් හිමිකරුගේ නීතීඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසී ය.

WP KS - 2929 දරන ‘ෆෝඩ් මස්ටැංග්’ වර්ගයේ මෙම මෝටර් රථය අදාල ව්‍යාපාරිකයාගේ මවගේ නමට ඇති බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එම මෝටර් රථය වසර 6කට පසු මෝටර් රථයේ වත්මන් හිමිකරුට විකුණා ඇති බවත් නීතීඥවරයා සඳහන් කළේය.

යහපාලනයේදී වාහනයක් ගත් පසුත් ප්‍රශ්න කිරීමට එෆ්සීඅයිඩී ගෙන්වන බවත් මේ වසරේ ජනවාරි මාසයේදී රුපියල් ලක්ෂ 80කට එම මෝටර් රථය තමා මිලදී ගත් බවත් මෝටර් රථයේ වත්මන් හිමිකරු වන හර්ෂණ සිල්වා මහතා පැවසී ය.