සිගරට් නිෂ්පාදන බද්ද රු.5කින් නගී

ඕනෑම ප්‍රමාණයක සිගරට්ටුවක් සඳහා දැනට ක්‍රියාත්මක වන නිෂ්පාදන බද්ද රුපියල් 5/-කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. එමෙන්ම බීඩි කොළ ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයකට පනවනු ලබන ආනයන සෙස් බද්ද රුපියල් 2,000/- සිට රුපියල් 3,000/- දක්වා වැඩි කිරීමටත්, කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

සිගරට් හා දුම්කොළ නිෂ්පාදන මත පනවා ඇති බදු සංශෝධනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව පිළිබඳ සලකා බැලීම පිණිස පත් කරනු ලැබූ අමාත්‍ය කමිටුවේ නිර්දේශය පරිදි,මෙම සංශෝධන සිදු කර තිබේ.

ඒ අනුව, 15%ක එකතු කළ අගය මත වන බද්ද (VAT) සිගරට් සඳහා නැවත පැනවීම සිදුවෙයි.

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18- 69ත් අතර පුද්ගලයින්ගෙන් 15%ක් දුම්පානය කරන්නන් බව සමීක්ෂණ වාර්තා මඟින් හෙළිදරව් වී ඇති අතර, දුම්කොළ ආශ්‍රිත රෝග නිසා වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව 30,000ක් පමණ වන බව ඇස්තමේන්තු කර ඇත. දුම්කොළ භාවිතය නිසා ඇති වන ලෙඩරෝග සඳහා ප්‍රතිකාර කිරීමට වාර්ෂිකව රුපියල් බිලියන 72ක පමණ මුදලක් රජයට වැය වන බව ගණනය කොට තිබේ. 'බදු පැනවීම', දුම්කොළ හා දුම්වැටි භාවිතය සීමා කිරීමේ සාර්ථක ක්‍රමවේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගනු ලැබ තිබේ. එබැවින් මෙම පියවරවලට අමතරව වෙනත් ක්‍රියාමාර්ගද අනුගමනය කරමින් රටෙහි දුම්කොළ භාවිතය අවම කිරීම සඳහා පියවර ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.