සජින්ට කෝටි 4ක ශරීර ඇප

මිහින් ලංකා සමාගමට බිම් මෙහෙයුම් උපකරණ ගෙන්වීමට ටී.පී.එල්. ඉන්ටර් පෞද්ගලික සමාගමට ලබාදීමෙන් අයුතු සහගත ලාභයක් ලබාගත් බව කියන අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා රුපියල් 2,50,000ක මුදල් හා කෝටි 4ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (20) නියම කළේය.

අධිකරණ නොතීසි මත පෙනී සිටි සජින් වාස් ගුණවර්ධන මහතාගේ විදේශ ගමන් තහනම් කරමින් ඒ සම්බන්ධව ආගමන විගමන පාලකට දැනුම් දෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සිද්ධිය ඊයේ (20) නැවත කැඳවූ අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රේමරත්න මහතා පැවැසුවේ චෝදනාවට පිළිතුරු දීමට ප්‍රථම එහි පිටපතක් ලබාදෙන ලෙසය. අල්ලස් කොමිසමද ඊට විරුද්ධ නොවූයෙන් අත්සන් නොකළ චෝදනා පත්‍රයේ පිටපතක් විත්තියට ලබාදීමට මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලට නියම කළේය.

2007 ජූනි මස 27 දින වර්ෂ 2008 මැයි 29 දක්වා කාලපරිච්ඡේදය තුළදී රජයේ සේවකයකු ලෙස එනම් මිහින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස සේවයේ යෙදී සිටි සජින් වාස් ගුණවර්ධන මහතා ටී.පී.එල්. ඉන්ටර් පෞද්ගලික සමාගම (T.P.L. Inter (Pvt) Ltd) වෙත අයුතු සහගත ලෙස නීති විරෝධී ලෙස අර්ථ ලාභයක් අනුග්‍රහයක් හෝ වාසියක් සිදුකිරීමේ චේතනාවෙන් එසේ සිදුවිය හැකි බව දැන දැනම මිහින් ලංකා සමාගමට බිම් මෙහෙයුම් උපකරණ ගෙන්වීමේ ක්‍රියාවලිය මිල ගණන් ඉදිරිපත් කිරීමක් නොකරන ලද T.P.L. සමාගමට උපකරණ ගෙන්වීමට සැලැස්වීමෙන් අල්ලස් පනතේ දූෂණය වරද සිදුකර ඇති බව සඳහන් කරමින් කොමිසම චුදිතට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ.

මසකට අමෙරිකානු ඩොලර් 2,23,000 බැගින් වසර 3කට මිලියන අටසිය අසූතුනක් හෝ ඊට ආසන්න මුදලක් (883) ගෙවීමට ගිවිසුමක් මත එකඟ වීම චුදිතට එල්ලව ඇති දෙවන චෝදනාවයි.

2016/08/16 වන දින සාක්කිකරුවන් 30ක් හා නඩු භාණ්ඩ 27ක් නම් කරමින් අල්ලස් කොමිසම චුදිතට එරෙහිව මේ නඩුව පවරා තිබිණ.

අදාළ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා චෝදනා කියවාදීමට හා ඉදිරි පියවර සඳහා නඩුව යළි කැඳවීම නොවැම්බර් මස 04 වන දිනට කල් තැබිණ.