දරු මුණුපුරෝ 108යි අම්මට වයස 100යි

වර්තමානයේ වසර සියයක් හෝ ඊට වැඩි ගණනක් ජීවත් වන අය සිටීනම් ඒ අතළොස්සකි. ඈත අතීතයේ නම් එවන් වූ අය ගැන විශේෂත්වයක් නැත. ඒ දවස ජීවත්වූවෝ බොහෝ දෙනෙක් එම වයස් සීමාව ආසන්නයේ හෝ ඉක්මවා ජීවත් වූ නිසා වෙන්ටය.

වසර සියයක් ජීවත්වී‍ෙම් භාග්‍ය ලත් මවක් ඉකුත් 12දා සිය දරු මුනුපුරන්, මීමුනුපුරන් ඇතුළු දරු දැරියන් එකසිය අටදෙනෙකුගේ (108) ආශිර්වාදයෙන් සිය ඡන්ම දිනය සැමරීය.

සිය දෑස් අභියස පරම්පරාවේ සියලු දෙනා සමඟින් සතුට බෙදා ගැනීමේ භාග්‍යවන්තිය වූයේ මාරවිල කටුනේරිය - අඩප්පරවත්ත පදිංචි වර්ණකුලසූරිය ඇලිස් ප්‍රනාන්දු මාතාවයි.

සිව්වැනි පරම්පරාවෙන් දරු දැරියන්ගේ ආදරය සෙනෙහස ලබා ගැනීමට වාසනාවන්තියක් වූ ඇලිස් ප්‍රනාන්දු මාතාව 1916 සැප්තැම්බර් 12 වැනි දින මෙලොවට බිහිවිය. ඇයගේ සැමියා වූයේ ජුලියස් ප්‍රනාන්දු මහතාය. විවාහයෙන් පිරිමි දරුවන් තිදෙනෙක් හා ගැහැනු දරුවන් සිව් දෙනෙක් සිටිති. වර්තමානයේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 80කි. මෙම පරම්පරාවේ බාලයාගේ වයස අවුරුදු 02යි. දරු මුහුණුපුරන් විසින් සංවිධානය කළ සියවැනි උපන් දින සැමරුම අතිඋත්කර්ෂවත් අන්දමින් ඉකුත් 12 දින සැමරීය. ඇයගේ උපන් දිනය වෙනුවෙන් විශේෂයෙන් සකසා තිබූ කේක් කපා දරු මුනුපුරන් සමඟ සතුට බෙදා ගත් අතර ඇය වෙනුවෙන් විශේෂ ආගමික වැඩ සටහනක් ද සංවිධානය කර තිබුණි. සංගිත නාද රටාවෙන් උත්සවය වර්ණවත් කෙරිණි. පැමිණි සිටි ඥාතීන් සියලුදෙනා ඇයට තෑගි බෝග පිරිනමමින් ආශිර්වාද කළහ. ඇයගේ හැඳුනුම්පත ද සුරක්ෂිතව තබාගෙන තිබේ. ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ටී.එම්. බී. ඒකනායක මහතාගේ අත්සනින් යුත් මෙම හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ 1972 වර්ෂයේ පෙබරවාරි 23 දිනය. එහි අංකය වූයේ 16760082V යනුවෙනි.

අතීතයේ විවිධ රටා මවමින් පැදුරු විවීමේ දක්ෂතාවයක් තිබූ බවත් ආහාර සම්බන්ධව විශේෂත්වයක් දක්වන්නේ නැති බවත් දූ දරුවෝ සඳහන් කරති. විශේෂයෙන් කුඩා දූ දරුවන්ට දැඩි ඇල්මක් ආදරයක් දක්වන ඇය ගමන් බිමන් යා හැකි දිනවල දූ දරුවන්ගේ සැපදුක් බැලීමට නිවෙස්වලට යන විට කුඩා දරුවන්ට තෑගි රැගෙන යාමට ඇය අමතක නොකළ බවත් සඳහන් වේ. විනෝදකාමී ජීවිතයක් ගත කළ ඇය චිත්‍රපට බැලීම හා ගීතවලට සවන් දීම කෙරෙහි අවධානයක් යොමු කර තිබේ.

දැරියන් දෙදෙනෙකුගේ රැකවරණය මත දිවි ගෙවන ඇලිස් ප්‍රනාන්දු මාතාව තම බොහෝ කලක් ජීවත් වේ යැයි දූ දරුවන් ඇතුළු පරම්පරා හතරක සාමාජීක සාමාජිකාවන්ගේ පැතුමයි.

හිටපු අමාත්‍ය නාත්තණ්ඩිය ආසන ශ්‍රීලංකා නිදහස් පක්ෂ සංවිධායක දයාශ්‍රිත තිසේරා මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.