ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් නාමල්ට නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කරන ලෙස ඊයේ ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් කොමිසමට දැන්වීය. මන්ත්‍රිවරයාට එරෙහිව චෝදනා ගොනු කිරීම ඔක්තෝබර් 3 වැනි දිනට පෙර සිදු විය යුතු බවද ශේ‍ර්ෂ්ඨාධිකරණය පැවැසීය.


මන්ත්‍රිවරයාට එරෙහිව කොමිසමට ලැබුණු පැමිණිලි පිළිබඳව විමර්ශන කිරීම සඳහා කොමිසමට පැමිණෙන ලෙස දන්වමින් යැවූ සිතාසි සහ පණිවුඩ සියල්ලම සැලකිල්ලට නොගෙන පැමිණීම අතපසු කරමින් කොමිසමට අපහාස කළ බව සඳහන් කරමින් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය ශේ‍ර්ෂ්ඨාධිකරණයට පැමිණිලි කර තිබිණි.

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් ගනු ලබන පියවර කුමක්දැයි අධිකරණයෙන් විමසූ වික්‍රමසිංහ මහත්මිය කොමිසමට අපහාස කිරීම පිළිබඳව නඩු පැවැරීමට පියවර ගන්නා ලෙසද ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඒ අනුව ශේ‍ර්ෂ්ඨාධිකරණය මන්ත්‍රිවරයාව අධිකරණයට ගෙන්වූ අවස්ථාවේ මන්ත්‍රිවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා මන්ත්‍රිවරයාට එරෙහිව කොමිසමට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවැරීමට නම් ඊට අදාළව පෙත්සමක් සහ දිවුරුම් ප්‍රකාශයක් ගොනු කළ යුතු බවට මූලික විරෝධයක් ඉදිරිපත් කෙළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ පිළිබඳව ශේ‍ර්ෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙළේ මෝසමක් පමණක් හෙයින් මන්ත්‍රිවරයාට එරෙහිව නඩුවක් පැවැරිය නොහැකි බවට තර්ක කෙළේය.

කලින් දවසේ නැඟූ මෙම මූලික විරෝධය පිළිබඳව ඊයේ අගවිනිසුරුවරයා අධිකරණයේ නියෝගය විවෘත උසාවියේ ප්‍රකාශයට පත් කෙළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් පනතේ 20(4) වගන්තිය කොමිසමට අපහාස කිරීමක් පිළිබඳව සහතිකයක් මඟින් පමණක් නඩු පැවැරිය හැකි බව ජනාධිපති නීතිඥවරයාගේ මූලික විරෝධයේදී කළ තර්කය ප්‍රතික්ෂේප කරමින් ශේ‍ර්ෂ්ඨාධිකරණය දුන් නියෝගයේ සඳහන් විය.

කොමිෂන් පනතේ 20(5) වගන්තිය අනුවශේ‍ර්ෂ්ඨාධිකරණයට එවැනි සහතිකයක් අනුව පියවර ගැනීමට නෛතික බලයක් තිබෙන බවද ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නියෝගයෙන් පෙන්වා දෙයි.
කොමිසම මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් නීතියට අනුකූලව ක්‍රියා කර තිබෙන බවද ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නියෝගයේ සඳහන් වෙයි.

මන්ත්‍රිවරයා පිළිබඳව පැමිණිල්ල කිරීමට කොමිසමට පෙත්සමක් සහ දිවුරුම් ප්‍රකාශ කිරීම අවශ්‍ය නොමැත. වගඋත්තරකාර මන්ත්‍රිවරයාට අදාළව චෝදනා ඉදිරිපත් කරන ලෙස කොමිසමට දැන්වූ ශේ‍ර්ෂ්ඨාධිකරණය එම චෝදනා පැහැදිලිව නියම කරුණු සහ ඊට අදාළ ලියැවිලි සහ ලේඛන සමඟ පැමිණිල්ල සමඟ චෝදනා සකස් කළ යුතු වේ.

මේ චෝදනා ශේ‍ර්ෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරිය මඟින් මන්ත්‍රිවරයා වෙත යැවිය යුතුය. චෝදනා සම්බන්ධයෙන් මන්ත්‍රිවරයා වරදකරුද, නිවැරැදිකරුද යන්න ප්‍රකාශය කිරීමෙන් නඩු කටයුත්ත ආරම්භ කළ යුතුවෙයි.