හනුමන් පාලමක් හදන්නේ නෑ

වත්මන් රජයේ සංවර්ධන ක්‍රියාවලිය හමුවේ පාද යාත්‍රා ගොස් පොල් ගසා ඇතිවී, පැරදී, සිරවී සිටින මන්ත්‍රීවරුන් කරකියා ගත නොහැකිව ජාතිවාදය වපුරමින් සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවැසීය. කුරුණෑගල පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ගියොත් මේ පිරිස තවත් අගාධයට පත්වන බව ද අගමැතිවරයා පැවැසීය.

මෙලෙස විවිධ විරෝධතා දක්වන මෙම පිරිස මිහිදු මහ රහතන් වහන්සේ සිටි කාලයේ සිටියේ නම් ඉන්දියානු ජාතිකයෙක් කියා මිහිදු මහ රහතන් වහන්සේ ද පළවා හරින බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මතුකරන ලද අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

හනුමන් පාලම ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජයන්ත සමරවීර මහතා මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසීය. හනුමන් පාලමක් ඉදිකිරීමට රජය තීරණය කර නොමැති බවත් කවර ක්‍රියාදාමයක නිරත වුවද පාර්ලිමේන්තුවට දැනුම් දී විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන බවත් අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

පසුගිය රජය සංවර්ධන කටයුතු දියත් කළේ කොමිස් ගැසීමට, සාක්කු පුරවා ගැනීමට බව පැවසූ අගමැතිවරයා රට සංවර්ධනය ගැන නොසිතනවා නම් තමන්ටත් ගුවන් යානා නොඑන ගුවන් තොටුපොලක්, නැව් නැති වරායක් සාදා පැත්තකට වීමට පුළුවන් බවත් පැවසීය. හනුමන් පාලමක් තැනීමට වත්මන් රජයට උවමනාවක් නැතත් හිටපු රජයේ මන්ත්‍රීවරු සියයට තිහක කොමිස් මුදලක් ලැබෙන්නේ නම් හන්මන් පාලම් 12ක් වුවත් හදන බවද අගමැතිවරයා පැවසීය. ශ්‍රී ලංකාව ආසියාවේ ආර්ථික මධ්‍යස්ථානය බවට පත්කිරීම වත්මන් යහපාලන රජයේ අරමුණ බවත් රට ආර්ථික වශයෙන් දියුණු නොකළහොත් කෝටි දෙකක් වන ජනතාවට මෙරට වෙළෙද පොළක් නොමැති හෙයින් සියලු නිෂ්පාදන මුහුදට දැමීමට සිදුවන බව ද පැවසීය.

වත්මන් රජය, පසුගිය රජය මෙන් මැදපෙරදිගට අතනොපා සැබෑ සංවර්ධනයක් රටතුළ ඇති කරන බව ද වැඩිදුරටත් පැවසීය.