තාජුඩීන් සිදුවීම පමණක් නිරීක්ෂකයන් නැතිව තීන්දු කරලා

2012 වසරේ මැයි මස සිට මේ දක්වා මාරක රිය අනතුරු තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇති අතර එම අනතුරු අතරින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂකයන් කැඳවා නැති එකම රිය අනතුර 2012 මැයි 17 දින සිදුවූ ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළ අනතුර බව අනාවරණය වේ.

නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල එම අනතුර සිදුවී තිබුණි. වසීම් තාජුඩීන්ගේ මරණය පසුව ඝාතනයක් බව රහස් පොලිසිය මගින් හෙළිකර ගනු ලැබුවත් 2012 එම සිද්ධිය සම්බන්ධ‍ව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය තීරණය කර තිබුණේ තාජුඩීන්ගේ මරණය මාරක රිය අනතුරකින් සිදුවූ මරණයක් බවයි.

මාරක රිය අනතුරකට භාජනය වූ වාහන අනිවාර්යයෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂකවරයකු ලවා පරීක්ෂාවට ලක්විය යුතු බව රථවාහන ආඥාපනතට අදාළ නීතියක් ඇත. එහෙත් තාජුඩීන්ගේ මරණය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ නාරාහේන්පිට පොලිසිය තාජුඩීන් ගමන්ගත් වාහනය පරීක්ෂාවට මෝටර් රථ පරීක්ෂකවරයකු කැඳවා නොමැති බව අනාවරණය වී ඇති බව රහස් පොලිසිය අධිකරණයට ද දැනුම්දී ඇත. තාජුඩීන් සිය මෝටර් රථය අධික වේගයෙන් පැමිණි නිසා ම මාරක රිය අනතුර සිදුවී රථය ගිනිගෙන පිළිස්සී ඇති බව නාරාහේන්පිට පොලිසිය 2012 වසරේදී අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

මෙම අධික වේගය අනිවාර්යයෙන්ම මෝටර් රථ පරීක්ෂකවරයකුගේ පරීක්ෂාවට ලක්වී ඔහු විසින් සකස් කරන වාර්තාවෙන් මිස විමර්ශන නිලධාරීන්ට තීරණය කළ නොහැකි වෙයි.

එහෙත් තාජුඩීන්ගේ රිය අනතුරට අදාළ මෝටර් රථ පරීක්ෂණ වාර්තාවක් නොමැතිව එම මරණය රිය අනතුරකින් සිදුවූවක් බව ‍තීරණය කර තිබූ නිසා තාජුඩීන් ඝාතනයට අදාළ තොරතුරු හිතාමතාම පොලිසිය විසින් යටගසා ඇති බව මීට පෙර රහස් පොලිසිය විසින් අධිකරණයට ද දැනුම්දී තිබුණි. මේ සම්බන්ධව නාරාහේන්පිට පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා කිහිප අවස්ථාවක්ම රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රශ්න කර තිබිණි. එහිදී රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබුණේ එම පොලිස් නිලධාරියාට උසස් නිලධාරින්ගේ බලපෑම මත තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව ව්‍යාජ සටහන් යෙදීමට සිදුවූ බවයි.