බාල වයස්කාර දැරිය දූෂණය කරලා

ලාතුඔය පොලිස් වසමට අයත් මයිලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක් වූ බාල වයස්කාර දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට තලාතුඔය ප්‍රදේශයේ නිවෙසකට රැගෙන ගොස් දූෂණය කළ බවට යුද හමුදා වෛද්‍ය බළකායේ ලාන්ස් කෝප්‍රල්වරයකු පෙරේදා (13දා) තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු වේරහැර ප්‍රදේශයේ කඳවුරක සේවය කරන්නෙකි.

අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයා විවාහකයකු වන අතර ඔහු එක්දරු පියෙකි. දූෂණයට ලක්වූ බව කියන බාලවයස්කාර දැරිය ප්‍රකාශ කරනුයේ මෙම පුද්ගලයා විවාහකයකු බව තමාට නොකී බවත් ඔහු හා ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ බවත් ඔහුට අයත් ත්‍රිරෝද රථයෙන් වරින් වර ඔහුගේ පුංචි අම්මාගේ නිවෙසට රැගෙන ගොස් දූෂණයට ලක්කළ බවත්ය. 

පළමු වතාවට 2016 මැයි මස දිනෙක සැකකරුගේ පුංචි අම්මාගේ නිවෙසට රැගෙන ගිය බවත් අනතුරුව කීපවතාවක්ම එසේ ගිය බවත් ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත. බාලවයස්කාර දැරිය ජංගම දුරකතනය මඟින් මොහු සමඟ සබඳතා පවත්වා ඇති අතර මෙයට පෙර වෙනත් හමුදා සෙබළකු හා සබඳතා පවත්වා ඇති බවද අනාවරණය වී තිබේ. දැරිය තවමත් අධ්‍යාපනය ලබන අතර මේ වනවිට 10 ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන්නීය. ඇයගේ මව ඇඟලුම් ආයතනයක සේවිකාවක් වන අතර දුක් මහන්සියෙන් ඉපයූ මුදලින් තම දියණියට ජංගම දුරකතනයක් ලබාදුන්නේ වැඩ නිමවා ගෙදර පැමිණෙන තෙක් තම දියණියගේ තොරතුරු දැන ගැනීම සඳහා බවත් මව පොලිසියේදී ප්‍රකාශ කර ඇත.

පෙරේදා (13දා) පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් සැකකාර හමුදා සාමාජිකයා ඊයේ (14දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බාල වයස්කාර දැරිය වෛද්‍ය පරීක්‍ෂණය සඳහා රෝහල් ගත කර තිබේ.


තලාතුඔය පොලිස් ස්ථානාධිපති අමරජිත් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් උ.පො.ප. කල්පගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්‍ෂණ මෙහෙයවති.