ලොව වේගවත්ම චිත්‍රපටය ලංකාවෙන් Video

ලොව වේගවත්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයාට හිමි ගිනස් වාර්තාව මංගල ගමන චිත්‍රපටයේ අධ්‍යක්ෂ නන්දන හේවාපන්න මහතා විසින් පිහිටුවමින් රටට කීර්තියක් අත්කර දී ඇත. ලෝකයේ වේගවත්ම චිත්‍රපටය ලෙස ගිනස් වාර්තාව පිහිටුවා ඇත්තේ මංගල ගමන චිත්‍රපටයයි.

පැය 1යි විනාඩි 25කින් යුත් මේ වෘත්තාන්ත චිත්‍රපටයේ පිටපත ලිවීමේ සිට තිරගත කිරීම දක්වා ඔහුට ගතවී ඇති කාලය පැය 71යි විනාඩි 19යි තත්ත්පර 21කි. 2014 මැයි 25 වැනි දින මංගල ගමන චිත්‍රපටය ලොව වේගවත්ම චිත්‍රපටය ලෙස ගිනස් ලෝක වාර්තාව තැබුවද එය ගිනස් කමිටුව විසින් පිළිගනු ලැබුවේ අගෝස්තු 09 වැනිදාය.

මේ චිත්‍රපටය ගිනස් වාර්තාවට හිමිකම් කියන බවට පසුගිය 09 වැනිදා මධ්‍යම රාත්‍රියේ ගිනස් කමිටුව
www.guinnessworldrecords.com වෙබ් අඩවිය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

සිය මධු සමයේදී විවාහක යුවළක් මුහුණපාන මානසික ගැටලු තේමා කර ගනිමින් මේ චිත්‍රපටය නිෂ්පාදනය කොට ඇත. අන්තර්ජාතික සිනමා උළෙල කිහිපයකට මේ චිත්‍රපටය නිර්දේශ වී තිබේ.

නන්දන හේවාපන්න මහතා තිස්පස් වසරකටත් වඩා සිය කලා ජීවිතයේ වේදිකා නාට්‍ය සඳහා රාජ්‍ය සම්මාන කිහිපයක්ද රූපවාහිනි කෙටි චිත්‍රපට සම්මානයක්ද ලබාගෙන තිබේ. මංගල ගමන චිත්‍රපටය සඳහා 2015 කැනඩා ජාත්‍යන්තර සිනමා උළෙලේදී විදේශ චිත්‍රපට අංශයේ රෝයල් රිල් සම්මානය හිමිවී ඇත. එමෙන්ම ඉතාලියේ මිලානෝ නුවර පැවැති සම්මාන උළෙලේදී හා සිංගප්පූරු සම්මාන උළෙලේදී මෙකී චිත්‍රපට විශේෂ ඇගැයීමට ලක්ව තිබේ.

මීට පෙර ලොව වේගවත්ම චිත්‍රපට නිෂ්පාදනයට හිමි ගිනස් වාර්තාව නැමීබියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හිමි කර ගෙන තිබිණි. එම නැමීබියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයාට සිය චිත්‍රපටය නිෂ්පාදනය සඳහා ගත වී ඇති කාලය දින 10යි පැය 8කි.