ඩිල්ෂාන් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

ඔහු ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තුන්වන එක්දින තරඟයෙන් සහ 20 - 20 ක්‍රිකට් තරඟයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවයි.ඩිල්ෂාන් ලංකාවෙන් බිහිවූ අති විශිෂ්ඨ පිතිකරුවෙකු මෙන්ම දඟ පන්දු යවන්නෙකු ලෙසත් අති ශූර කඩුලු රැකින්නෙකු ලෙසත් සැලකේ.

තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ තරගය වෙනස් කළ ක්‍රීඩකයෙක්.

තිලකරත්න ඩිලෂාන් යනු තරගයක් වෙනස් කිරීමට හැකි ක්‍රීඩකයකු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද ප්‍රකාශ කළ තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවාව අගය කරමිනි.

“තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩකයෙකු ලෙස රටට කළ සේවය අමතක කරන්න හොඳ නැහැ. ඔහු ක්‍රීඩා දිවිය ආරම්භ කළේ මැද පෙළ පිතිකරුවකු ලෙසින්. ඒ වගේම ඔහු දක්ෂ පන්දු රකින්නෙක්. පසුව ඔහු ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළා. ක්‍රීඩකයෙක් ලෙස අපහසුම කාර්යය වන්නේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කිරීම. නමුත් තිලකරත්න ඩිල්ෂාන් එම කාර්යය හොඳින්ම කළා. ඇත්තටම තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ තරග ‍වෙනස් කළ ක්‍රීඩකයෙක්. ඔහු තනිදින තරග මෙන්ම විස්සයි විස්ස තරග ජයග්‍රහණය කරන්න ඉවහල් වුණා. ලෝක කුසලාන තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගයට පැමිණීමට හැකියාව ලැබුණේ තිලකරත්න ඩිල්ෂාන් නිසා.


තිලකරත්න ඩිල්ෂාන් හඳුන්වා දුන් ඩිල්ස්කූප් පහර විස්සයි විස්ස තරගවලට ආවේණික පහරක් බවට අද පත්ව තිබෙනවා. මම එය පෞද්ගලිකව අගය කරන පරහක් නෙවෙයි. නමුත් එම පහර හඳුන්වා දීමෙන් ඩිල්ෂාන් ක්‍රිකට් පිටියේ වෙනසක් කළා. සනත් මුරලි කළු මෙන් ක්‍රිකට් පිටියේ සුවිශේෂි ලකුණක් තැබුවා. ඇත්තටම වැදගත් වන්නේ පහරක් ගැසීම හෝ හඳුන්වා දීම නෙමෙයි. වඩාත් වැදගත් වන්නේ එම පහරින් වැඩි ලකුණු ලබා ගැනීමයි. ඒ පැත්තෙන් ඩිල්ෂාන් විශේෂයි. පන්දු යවන්නෙක් ලෙස ඔහු මොළෙන් පන්දු යැවූ ක්‍රීඩකයෙක්. පන්දු රකින්නෙක් ලෙස අපට සිටි හොඳම පන්දු රකින්නෙක්. පිතිකරුවෙක් හැටියටත් අපට සිටි හොඳම පිතිකරුවෙක්. ඒ වගේම හොඳ කඩුලු රකින්නෙක්. මෙවැනි සුවිශේෂී ක්‍රීඩකයෝ බිහිවන්නේ ඉතාමත් කලාතුරකින්. මේ නිසා තිලකරත්න ඩිල්ෂාන්ගෙන් අපේ කණ්ඩායමට වූ සේවය අපට කියා නිම කරන්න බැහැ. මම ඔහුට සුබ පතනවා. කෙසේ නමුත් ඉදිරියේදීත් ඔහු පුහුණුකරුවකු ලෙස හෝ පරිපාලකයකු ලෙස හෝ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට විශාල සේවයක් කරනු ඇතැයිද මම බලාපොරොත්තු වෙනවා.....” යැයිද හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.