ඇමැති පුතෙක් බලෙන් වයඹ කැලෑ කපයි

වයඹ පළාත නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයකුගේ පුත්‍රයකු කුලියාපිටිය ‍පොලිස් කොට්ඨාසයේ වන රක්ෂිතවල බලහත්කාරයෙන් මහා පරිමාණ දැව ජාවාරමක නිරත වන බව ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පුත්‍රයා දේශපාලනයට සම්බන්ධ අයකු වන අතර අමාත්‍යවරයාටත් පුත්‍රයාටත් මැතිවරණ සමයේදී උදව් සැපයූ ඡන්ද ආධාරකරුවන් විසින් මෙම පාරිසරික විනාශය සිදුකරමින් තිබෙන බව වාර්තා වේ.

මොවුන් විසින් ප්‍රදේශයේ රක්ෂිතවල වටිනා කුඹුක්, බුරුත, කොස්, මැහෝගනී ආදී ගස් කපා රැගෙන යන බව ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කිහිප වතාවක් අදාළ ජාවාරම ‍පොලිසිය මැදිහත්ව අත්අඩංගුවට ගත්තත් ඒ සෑම අවස්ථාවකම අමාත්‍යවරයා හෝ ඔහුගේ පුත්‍රයා ‍පොලිසියට ඇමතුම් ලබා දී අදාළ සැකකරුවන් මුදාහරින ලෙස ඉල්ලා ඇතැයි ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එක් වතාවක් අමාත්‍යවරයා ඇමතුමක් ලබා දී සැකකරුවන් මුදාහරින ලෙස ඉල්ලූවත් අදාළ ‍පොලිස් ස්ථාන භාර නිලධාරීන් එම සැකකරුවන් අමාත්‍යවරයාගේ නියෝග නොතකා අධිකරණයට ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් එම සිද්ධියෙන් පසු අමාත්‍යවරයා ‍පොලිසියට ඇමතුම් ලබා දීම අතහැර දමා ඇති අතර අමාත්‍යවරයා වෙනුවෙන් ඔහුගේ පුත්‍රයා මැදිහත්ව ‍පොලිස් ස්ථාන වෙත ඇමතුම් ලබාදීම දිගින් දිගටම සිදුවෙමින් පවතින බව ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් ‍පොලිස් නිලධාරීන් එය තඹයකට මායිම් නොකොට අදාළ රාජකාරි සිදුකරමින් පවතින බව සඳහන් වේ.කෙසේ වෙතත් නීතිය හරිහැටි ඉටු කරන ‍පොලිස් නිලධාරීන්ට විරුද්ධව එක් වතාවක් ජාවාරම්කරුවන් විසින් උද්ඝෝෂණයක් ද පවත්වා ඇත.

මෙම දැව ජාවාරමට අමතරව පස් සහ වැලි ජාවාරම ද සිදු කරමින් පවතින අතර එහෙත් ‍පොලිසියේ මැදිහත්වීම මත පස් කැපීම මේ වන විට නතර කර දමා ඇතැයි සඳහන් වේ. අමාත්‍යවරයාට වඩා පුත්‍රයාගේ බලය හේතුවෙන් ‍පොලිස් නිලධාරීන්ට රාජකාරි කර ගැනීමට නොහැකි වන තැනට පත්ව ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ගයාන් ගාල්ලගේ