රවී හා ජනපති ගැටෙන ලකුණු

දුම්වැටි බදු ඉහළ දැමීමේදී ඇතිවිය හැකි ගැටලු සම්බන්ධ වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තමා තීරණය කර ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටී.අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මීලග කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් කරන බවයි.

ඔහු විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඊයේ (10) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත්වූ යෝජනාවක් සැලකිල්ලට ගනිමිනි.

රවී කරුණානායක මහතා මේ තීරණයට එළඹියේ දුම්වැටි බදු ඉහළ දැමීමේදී දුම්කොළ ආශ්‍රිත වෙනත් නිෂ්පාදනවලට පුද්ගලයින් නැඹුරුවීමේ ප්‍රවණතාවක් ඇතිවිය හැකි බැවින් බවද ඔහු කියා සිටී.

නව බදු යෝජනාවට අනුව දුම්වැටි බද්ධ සියයට 90 දක්වා ඉහළ දැමීමට නියමිතය.දුම්වැටි සඳහා දැනට අය කෙරෙන බද්ධ සියයට 71 කි.

ජනපති මතය දුම්වැටි නැවැත්වීමයි

කෙසේවුවද, ලංකාවේ මිනිසුන් එක් දිනකට මත්ද්‍රව්‍ය හා දුම්වැටි සදහා පමණක් රුපියල් කෝටි 50 වියදම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටින අතර ඔහුගේ අදහස දුම්වැටි මිල වැඩිකිරීමෙන් දුම්වැටි පානයට ඇබ්බැහුවූවන් මුදවාගත හැකි බවයි.

ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ සමීක්ෂණ දත්තවලට අනුව දිනකට ශ්‍රී ලාංකිකයන් දුම්වැටි සදහා වියදම් කරන මුදල රුපියල් ලක්ෂ 2500 කි.අඩු ආදායම් ලාභීන්ගේ ආදායමෙන් සියයට 35 වියදම් වන්නේ මත්ද්‍රව්‍ය සදහාය.

එම දත්ත හෙළිදරව් කරන ආකාරයට පසුගිය වසර තුළ ශ්‍රී ලාංකිකයන් විසින් මත් පැන් හා මත්ද්‍රව්‍ය වෙනුවෙන් රුපියල් බිලියන 212 ක් වියදම් කර තිබේ.දකුණු අධිවේගී මාර්ගය සදහා වියදම් වූ මුදල රුපියල් බිලියන 132 කි.මොරගහ කන්ද ජලාශය සදහා වියදම් වන මුදල රුපියල් බිලියන 98 කි.

මීට අමතරව රටේ පවුල් ආරවුල්වලින් සියයට 50 ක් මත්ද්‍රව්‍ය නිසා ඇතිවන බවත්, රජයේ රෝහල්වල ඇඳන්වලින් සියයට 20 වෙන් වන්නේ මත්පැන් හා මත්ද්‍රව්‍ය නිසා ඇතිවුණු රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීමට බවත් හෙළි වී තිබේ.

ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චිට අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගෙන් සියයට 70 ක් රා බීමට ඇබ්බැහි වී සිටිති.