මහින්දගේ කොළඹ රැස්වීම තියන තැන රහසක්ලු

ආණ්ඩුවට සිතාගැනීමටවත් නොහැකි තැනක කොළඹ ප්‍රසිද්ධ ස්ථානයක ක්‍ෂණික වේදිකාවක් නිර්මාණය කර ජන සටන පාද යාත්‍රාවේ අවසන් ජන රැලිය අද (1දා) සවස පැවැත්වීමට තීරණය කළ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් මෙම ජන සටන ජන රැලිය ඇමැතීමට නියමිත බවත් එහිදී වත්මන් ආණ්ඩුවට ප්‍රබල රතු එළියක් එල්ල කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා පැවැසීය.

අවසන් ජන රැලිය සඳහා කොළඹ හයිඩ් පිටිය වෙන්කළද ආණ්ඩුවේ දේශපාලන බලපෑම් මත එහි පස්ගොඩවල් ගසා ඇති බවත් ඊට අමතරව අනෙකුත් ක්‍රීඩාංගණ ආණ්ඩුව වෙන්කරගෙන තිබෙන බවත් පෙන්වා දෙන පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා පවසන්නේ කුමන බාධක එල්ල කළත් අවසන් ජනරැලිය අනිවාර්යයෙන්ම කොළඹදී පවත්වන බවයි.
ජන සටන පාද යාත්‍රාවේ අවසන් දින සංවිධාන කටයුතු හා අවසන් ජනරැලිය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (31දා) රාත්‍රි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවද සොයිසා මහතා පවසයි.

ජන සටන පාද යාත්‍රාවට අමතරව දිවයින පුරා සිටින විශාල ජනකායක් අද දින කොළඹදී පැවැත්වෙන අවසන් ජන රැලියට සහභාගි වන බවද සොයිසා මහතා කීවේය.

පසුගිය 28 වැනිදා මහනුවර ගැටඹෙන් ආරම්භ වී දින 4ක් පාද යත්‍රාව ගමන් කිරීමෙන් අනතුරුව අද පස්වැනි දිනයේදී ජන සටන පාද යාත්‍රාව කොළඹට ළඟාවීමට නියමිතය.

අද (1දා) දින පෙ.ව. 9ට කිරිබත්ගොඩින් ආරම්භ වීමට නියමිත ජනසටන පාද යාත්‍රාව සවස 4ට පමණ කොළඹට ළඟාවීමට අපේක්ෂා කෙරේ.