මහින්ද සතියකට දකුණු කොරියාවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතියක කාලයක් සඳහා දකුණු කොරියානු සංචාරයක් සඳහා අද (4දා) පිටත්ව යාමට නියමිතව ඇත.දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ඇරයුමකට අනුව හිටපු ජනාධිපතිවරයා මෙසේ දකුණු කොරියානු සංචාරයකට එක්වේ.

මෙම සංචාරයට හිටපු ජනාධිපතිවරයා සමග ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හය දෙනෙක් එක්වීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, ලොහාන් රත්වත්තේ, පියල් නිශාන්ත මෙම සංචාරයට එක්වන මන්ත්‍රීවරු වෙති.

මෙයට අමතරව හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද හිටපු ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්වන බව ඒකාබද්ධ විපක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි. ඔවුන් අද රාත්‍රියේ දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.
රමේෂ් වරල්ලෙගම