බඩේ ගෑස් අයට හොඳ ආහාර

“මගේ බඩේ ගෑස්. ඉන්න බෑ. බඩ පුරෝලා දාලා වගේ” යනුවෙන් උදෑසන මැසිවිලි නඟන අය අපට නිතර මුණ ගැසෙනවා. තමන්ගේ නොසැළකිලිමත් ආහාර පුරුදු හේතුවෙන් ඔවුන්ට ඇති වී තිබෙන රෝගී තත්ත්වයට තමයි ගැස්ට්‍රයිටීස් කියලා කියන්නේ. මේ රෝගයට හරිහැටි වෛද්‍ය ප්‍රතිකාර නොගත්තොත්, ආමාශගත පිළිකා රෝගය වැළ‍ඳෙන්නත් පුළුවන්. බඩේ දැවිල්ල, උදරය පුරවාදැමීම, වමනය යනාදියෙන් පටන් ගන්නා මේ ගැස්ට්‍රයිටීස් තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගත යුතු හොඳ ම විසැඳුම් විදිහට, කලට වෙලාවට ආහාර ගැනීම සහ හිතකර ආහාර පමණක් ආහාරයට එක්කර ගැනීම දක්වන්න පුළුවන්.

ගැස්ට්‍රයිටීස් තත්ත්වයට වඩාත් ගුණදායක ආහාර වර්ග පිළිබඳ දෙස් විදෙස් වෛද්‍යවරු අදහස් දක්වා තිබෙනවා. මේ ඒ වගේ ආහාර කිහිපයක්.

1. පලතුරු

ගැස්ට්‍රයිටීස් තත්ත්වයට පලතුරු වඩාත් ගුණදායක වන්නේ, එහි අඩංගු විටමින්, ඛනිජ ලවණ, තත්තුමය ස්වභාවය සහ ඇන්ටිඔසයිම යනාදිය අන්තර්ගත වී ඇති නිසයි. කෙසෙල්, කිවි, පෙයාර්ස් හෝ මෙවැනි රෝගීන්ට ගුණදායක යැයි අනුමත පලතුරු ආහාරයට ගැනීමෙන්, මේ රෝගී තත්ත්වය ඉක්මනින්ම සුවකර ගැනීමට පුළුවන්. දවසකට , මෙවැනි පලතුරුවලින් අවම වශයෙන් වර්ග 04 ක්වත් ආහාරයට ගැනීම වඩාත් යෝග්‍යයි.

2. එළවළු

නැවුම් එළවළු ආහාරයට ගැනීම ගැස්ට්‍රයිටීස් පමණක් නොව, සෑම රෝගයකටම වඩාත් ගුණදායකයි. අවම වශයෙන් නැවුම් එළවළු කෝප්පයක්වත් ගැනීම වඩාත් ගුණදායක බව වෛද්‍ය මතයයි. දිනකට කොළ පැහැති එළවළු සලාද කෝප්ප දෙකක්වත් ආහාරයට ගැනීමට විදේශීය වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා. එළවළු වර්ග පිසීමේදී මිරිස් සහ සුදුලූණු ආදිය ඉතාමත් ම ස්වල්ප ප්‍රමාණවලින් යොදා ගන්නේ නම්, ගැස්ට්‍රයිටීස් තත්ත්වය ඉක්මනින් ම මඟහරවා ගත හැකියි.

3. කිරි සහ කිරි මිශ්‍ර ආහාර

කැල්සියම් සහ විටමින් ‘ඩී’ බහුල වශ‍යෙන් අන්තර්ගත කිරි මඟින් මේ රෝගී තත්ත්වය බොහෝ දුරට අවම කර ගත හැකියි. දවසකට අවම වශයෙන් අවස්ථා තුනකදීවත් කිරි පානය කිරීම ඉතාමත් ම ගුණදායකයි. යෝගට් සහ අයිස්ක්‍රීම් මෙවැනි රෝගීන්ට වඩාත් හිතකර බව වෛද්‍ය මතයයි. දහවල් ආහාරයට පසු අතුරුපස සඳහා යෝගට් එකක් ආහාරයට ගන්නවා නම් , දීර්ඝායුෂ විඳීමට පුළුවන්. යෝගට් සහ අයිස්ක්‍රීම් මිලදී ගන්නා විටදී, සෑම විටම අඩු මේද සහිත ඒවා ලබා ගැනීමට සැලකිලිමත් විය යුතුයි.

4. මස් සහ මාළු

ගැස්ට්‍රයිටීස් රෝගීන් සඳහා මස්, මාළු ආහාරයට ගත්තාට කිසිදු වරදක් නැහැ. එහෙත් ඒවා පිසිනවිට, මිරිස්, තුනපහ, අමු මිරිස්, සුදුලූණු සහ ඉඟුරු මිශ්‍ර කිරීමේදී අවශ්‍ය ප්‍රමාණයට පමණක් යොදාගත යුතුයි. එසේත් නැතිනම් ඒවා මිශ්‍ර නොකර සිටීම ඉතාමත්ම වැදගත්. සෝයා බෝංචි හෝ සෝයා යොදාගත් අනුකාරක ආහාර වර්ග ද සිරුරට වඩාත් ම යෝග්‍යයි. ඉහත සඳහන් කරන ලද මස්, මාළු හෝ සෝයා මිශ්‍ර ආහාර වර්ග යනාදියෙන් එක් ආහාරයක් පමණක්වත් තම ප්‍රධාන ආහාර වේලකට එක්කර ගැනීම ඉතාමත් ම සුදුසු යි.

5. කුරහන්

බත්, පැස්ටා, ඊස්ට් මීල් හා ක්‍රැකර් වර්ග ගැස්ට්‍රයිටීස් රෝගීන්ට වඩාත් ගුණදායකයි. ප්‍රධාන ආහාර වේලක් මඟහැරුණු අවස්ථාවලදී , කුරහන් තලප, බිස්කට් වැනි දෑ ආහාරයට ගැනීමට පුරුදු වන්නේ නම්, ගැස්ට්‍රයිටීස් තත්ත්වය ඉක්මනින්ම සුවකර ගත හැකියි.

6. ජලය

පුද්ගලයෙක් දිනකට අවම වශයෙන් ජලය වීදුරු 7 – 8 වත් පානය කළ යුතුයි. ජලීය ගුණය මිනිස් සිරුරට වඩාත් හිතකර වන අතර, එම ගුණය ගැස්ට්‍රයිටීස් රෝගීන්ට අත්‍යවශ්‍යයි.