චම්පක රාමනායක හොර පාරෙන්ම බංග්ලාදේශයට

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වත්මන් වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන චම්පක රාමනායක මහතා ලබන සැප්තැම්බර් මාසයේ සිට බංග්ලාදේශ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වේග පන්දු පුහුණු තනතුර භාර ගැනීමට නියමිතව තිබෙන බව ඉතාම විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගයක්‌ ඔස්‌සේ වාර්තා විය.

රාමනායක මහතා මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන ලබන අතර දැන් ක්‍රියාත්මක ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අවසන් වූ වහාම එම ධුරයෙන් ඉල්ලා අස්‌වී නව තනතුර සඳහා පිටත්ව යැමට නියමිතව තිබෙන බව එම ආරංචි මාර්ගයේ වැඩිදුරටත් සඳහන් විය.

රාමනායක මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය අතර පවතින කොන්ත්‍රාත්තුව ලබන 2017 වසරේ ජූලි මස දක්‌වා ක්‍රියාත්මකව පවතින නමුත් එම ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ අයිතිය රාමනායක මහතාගේ අභිමතය පරිදි ගත හැකි නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සමග වන කොන්ත්‍රාත්තුව ගැටලුවක්‌ නොවනු ඇත.

කාලයක්‌ තිස්‌සේම බංග්ලාදේශ කණ්‌ඩායම වේග පන්දු පුහුණුකරුවකුගේ සේවය සොයමින් සිටි අතර එහිදී පුහුණුකරුවන් කිහිප දෙනෙකු පිළිබඳවම අවධානය යොමු කරන ලදී. මේ පිළිබඳව අදහස්‌ දක්‌වා සිටින බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතන සභාපති නස්‌මුල් හසන් සඳහන් කරන්නේ, අදාළ තනතුරට පැමිණෙන පුහුණුකරු මේ වන විට තවත් රටක්‌ සමග කටයුතු කරන බැවින් ඔහු කවුරුන්ද යන්න හෙළි කිරීම සිදු කළ නොහැකි බවයි.

''හොඳ පුවත තමයි අපේ වේග පන්දු පුහුණුකරු තෝරන එක ඉවර වෙච්ච එක. අපි දන්නවා කවුද දැන් අපි ගන්න ඕන කියලා. නමුත් අවාසනාවකට අපිට ඒ නම හෙළි කරන්න බැරි තත්ත්වයකයි ඉන්නේ. ඔහු තවත් රටක්‌ සමඟ වැඩ කරන නිසයි ඔහුගේ නම හෙළි කරන්න බැරි. අපි බලාපොරොත්තු වෙනවා මේ මාස අන්තිමට ඔහු ඩකා නුවරට ඒවි කියලා. ඔහුගේ කොන්ත්‍රාත්තුව ඉවර වෙච්චි ගමන් අපි ඔහුගේ නම ප්‍රසිද්ධ කරනවා''යි හසන් මහතා පවසයි.

සඳහන් වන ආකාරයට බංග්ලාදේශ වේග පන්දු පුහුණුකරු තනතුර සඳහා රාමනායක මහතා සහ වත්මන් ඔස්‌ටේ්‍රලියානු පිලේ තාවකාලික වේග පන්දු පුහුණුකරු දකුණු අප්‍රිකානු ජාතික ඇලන් ඩොනල්ඩ් යන පුහුණුකරුවන්ගේ නම් කියෑවිණ. නමුත් බංග්ලාදේශයේ පවතින වත්මන් ආරක්‌ෂක තත්ත්වය යටතේ සුදු ජාතිකයකු එහාට ගොස්‌ කටයුතු කිරීම එතරම් සුබ දායක නොවන නිසා ඩොනල්ඩ් මහතා එම තනතුර සඳහා කිසිසේත්ම පෙළෙඹෙනු ඇතැයි අනුමාන කළ නොහැක.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ වේගපන්දු පුහුණු උපදේශක තනතුර සඳහා හිටපු වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්‌ මහතාගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ඉකුත්දා තීරණය කළේය. එහෙත් වාස්‌ මහතාගේ සේවය ශ්‍රී ලංකා පිලට නොව මුලු පුහුණු පද්ධතියටම වලංගු වන නමුත්, රාමනායක මහතා කරමින් සිටින කටයුත්තට කිසි සේත්ම බාධාවක්‌ නොවනු ඇත.

කෙසේ වෙතත් අදාළ තනතුරට සඳහා රාමනායක මහතා පිටව යන බවට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන දැනුවත් කර තිබේද යන්න වත්මන් ලේකම් මොහාන් ද සිල්වා මහතාගෙන් කරුණු විමසන ලදුව, එවැනි දැනුම් දීමක්‌ තවමත් තමාට දැන ගැනීමට නොහැකි බවත් රාමනායක මහතාගේ සේවය තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය බලාපොරොත්තු වන බවත් සඳහන් කර සිටියේය.