ඇමරිකාවේදී තෙවැනි වරටත් ෂාරුක්‌ හිරවෙයි

ඊයේ 12 දා ඇමරිකාව බලා පිටත් වූ බොලිවුඩ් සුපිරි නළු ෂාරුක්‌ ඛාන් තුන්වැනි වතාවටත් ලොස්‌ ඇන්ජලිස්‌ ගුවන් තොටුපළේ රඳවාගෙන තිබේ.

මීට පෙර 2009 වසරේ නිවාක්‌ ගුවන් තොටුපළේ පැය 4 ක්‌ ද 2012 වසරේ නිව්යෝර්ක්‌ වයිට්‌ ප්ලේන් ගුවන්තොටුපළේ විනාඩි 90 ක්‌ ද ෂාරුක්‌ ඛාන් රඳවා ගත් අතර මේ දෙවතාවේදීම ඉන්දීය තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් ඔහු නිදහස්‌ කර ගැනිණි.

මේ සම්බන්ධයෙන් ට්‌විටර් පණිවිඩයක්‌ නිකුත් කරමින් ෂාරුක්‌ ඛාන් පවසා ඇත්තේ ඇමරිකානු ආරක්‍ෂක වැඩපිළිවෙළට ගරු කරන නමුදු ඇමරිකාවට ඇතුළු වන සෑම අවස්‌ථාවකදීම මෙලෙස ගුවන් තොටුපළේ රඳවා ගැනීම තමාට මහත් කරදරයක්‌ වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්‌වාල් සහ ඇමරිකාවේ ඉන්දීය තානාපති රිච් ෂර්මා ෂාරුක්‌ ඛාන්ගේ සමාව ඇයද තිබේ.