ශිෂ්‍යත්වය දවසේ ජංජාලයක්‌

මහඔය අධ්‍යාපන කලාපයට අයත් පදියතලාව හෝලිකේ මහ විද්‍යාලයේ ඊයේ (21 දා) උදේ ශිෂ්‍යත්වයට පෙනී සිටීමට සිටි සිසුන් වැරදි මධ්‍යස්‌ථානයකට යොමුකර තිබීමෙන් එම සිසුන් හා තමන් දැඩි අපහසුතාවයට ලක්‌වූ බවට සිසුන්ගේ දෙමාපියෝ චෝදනා කරති.

විද්‍යාලයෙන් ලද දැනුම් දීමට අනුව දෙමාපියන් ඊයේ (21 දා) උදෑසනම තම දරුවන් රැගෙන මිරිස්‌වත්ත මහ විද්‍යාලයේ පැවැති විභාග මධ්‍යස්‌ථානයට ගොස්‌ ඇත.

එහිදී පෙරවරු 8.00ට පමණ හෝලිකේ විද්‍යාලයේ ගුරුවරියක්‌ පැමිණ මෙවර විභාග මධ්‍යස්‌ථානය මාරුකර ඇති බවත් සිසුන් පදියතලාව ජාතික පාසලේ විභාග මධ්‍යස්‌ථානයට යා යුතු බවත් පවසා ඇත. එහිදී දෙමාපියෝ, ප්‍රදේශවාසීන් හා ගුරුවරුන් එක්‌ව යතුරුපැදි ත්‍රිරෝද රථ යොදා ගනිමින් සැතපුම් හතක්‌ දුරැති පදියතලාව ජාතික පාසලට සිසුන් රැගෙන ගොස්‌ ඇත.

පෙරවරු නමයට කලින් සිසුන් විභාග මධ්‍යස්‌ථානය වෙත ගෙන ඒමට සමත් වුවත් බියට හා තැතිගැන්මට පත් සිසුන් විභාගයට මුහුණදීමේදී මෙය මානුෂිකව බලපෑ හැකි බව දෙමාපියෝ චෝදනා කර සිටිති.

මෙම සියලු ලේඛන සති කිහිපයකට පෙර විද්‍යාලයට ලැබී තියෙද්දීත් ඒ පිළිබඳව වගකිවයුත්තන් දැනුවත්වී සිසුන්ට දැනුම් නොදීම විශාල ගැටලුවක්‌ බවද දෙමාපියෝ පැවසූහ.

මේ පිළිබඳව අප මහඔය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කේ. බී. ධර්මසේන මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවැසුවේ මෙම විද්‍යාලයේ විභාගයට මුහුණ දුන් සිසුන් තිස්‌ තුන්දෙනාගේ මානසිකත්වයට මෙයින් බලපෑමක්‌ සිදුව තිබේ නම් ඒ පිළිබඳව වගකිවයුතු අය පිළිබඳ පරීක්‍ෂණක්‌ පවත්වන බවය.