අමුතු වැඩ උගන්නපු භික්ෂුව රිමාන්ඩ්

ඇල්පිටිය පොලිස් වසමට අයත් දිවිතුර ප්‍රදේශයේ ආරණ්‍යයක වැඩ සිටින කුඩා භික්ෂුන් වහන්සේ හතර නමකට හා එහි සිටින බාලවයස්කාර පිරිමි ළමයකුට බරපතළ ලිංගික අපයෝජනයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ චීවරධාරියකු සැප්තැම්බර් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇල්පිටිය මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා ඊයේ නියෝග කළේය.

එම ආරණ්‍යයේ විහාරාධිපති ලෙස වැඩසිටි මෙම චීවරධාරියා 27 හැවිරිදි අයෙකි. වයස අවුරුදු 16ට වඩා අඩු කුඩා සාමණේරයන් වහන්සේ හතර නමක් සහ අවුරුදු දහසයට අඩු පිරිමි ළමයකු මෙහි සිට ඇති අතර සැකකාර චීවරධාරියා මෙම පස්දෙනාටම වරින් වර ලිංගික අතවර කර ඇති බව පරීක්ෂණවලදී හෙළිවූ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
ඒ සම්බන්ධයෙන් සාමණේර හිමිවරුන් හා පිරිමි ළමයා ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ලබා ගත් වෛද්‍ය වාර්තාවක්ද පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ඇල්පිටිය පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්. කරුණාරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වා සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.