දුම්රියවලට ගල් ගැසුවොත් වෙඩි

ධාවනය වන දුම්රියන්වලට ගල් ගසන පුද්ගලයන්ට වෙඩි තැබීම සඳහා මිලි මීටර් 0.38 වර්ගයේ රිවෝල්වර 25 ක්‌ දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබුණු බව දුම්රිය ආරක්‌ෂක හමුදාවේ දුම්රිය අධිකාරි අනුර ප්‍රෙමරත්න මහතා ඊයේ (21 වැනිදා) පැවැසීය.

ආරක්‌ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත මෙම රිවෝල්වර වැලිසර නාවික හමුදා කඳවුරෙන් ලබාදුන් බවද ඒ මහතා කීය.

මෙම රිවෝල්වර වලින් මීටර් 15ක පමණ දුරකට වෙඩි තැබීමේ හැකියාව පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

ඉදිරියේ දීත් ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි වැලිසර නාවික හමුදා කඳවුරෙන් රිවෝල්වර 25 ක්‌ ලැබීමට නියමිත බවද ඔහු කීය.

දැනට දුම්රිය ආරක්‍ෂක හමුදාව භාවිත කරන්නේ බහුආර තනි කාණුවේ ගිනි අවි වන බවත් දෙපාර්තමේන්තුව සතුව මේ වන විට ගිනි අවි 192 ක්‌ පවතින බවත් ඒ මහතා කීය.

අලුතින් ලබාගත් රිවෝල්වර භාවිත කරන ආකාරය පිළිබඳව නිලධාරීන්ට පුහුණු කරන බවද ඔහු කියා සිටියේය.

එක්‌ දුම්රියකට ගිනිඅවි සහිත නිලධාරීන් දෙදෙනකු බැගින් දැනටමත් අනුයුක්‌ත කර ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.