ලයිසන් එකට බර හදා ගන්න යකඩ බෝල ඉනේ ගහගෙන ඇවිත්

රියෑදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම් කළ තරුණයකු තම වෛද්‍ය සහතිකය ලබා ගැනීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මාතර දිස්‌ත්‍රික්‌ කාර්යාලයට පැමිණ වෛද්‍ය පරීක්‌ෂණයට පෙනී සිටි අවස්‌ථාවේ ඔහුගේ සැකකටයුතු හැසිරීම පිළිබඳව විමසිලිමත්වූ කාර්ය මණ්‌ඩලය හා වෛද්‍යවරයා ඔහුගේ ඉනේ හා ඇඳුම්වල සඟවා තිබූ කිලෝ පහක යකඩ බෝල පැකට්‌ හා රුපියල් 10 කාසි 1000 ක්‌ සොයාගෙන ඇත.

ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමාගේ යහළුවන් සියලු දෙනා මෙඩිකල් පාස්‌ වී රියෑදුරු බලපත්‍රය ලබාගෙන ඇති බවත් තමාගේ උසට හරියන බර නොමැති වීම නිසා රියෑදුරු බලපත්‍රය ලබාගැනීමට නොහැකි වුණ බැවින් එය ඉටුකර ගැනීමට මෙම උපක්‍රමය භාවිත කළ බවයි.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරීන් විසින් මොහුගේ බර මැනීමෙන් පසු ඉක්‌මනින් එළියට ගොස්‌ පැමිණීමට අවශ්‍ය බව පැවැසීමත් සමඟ සැක සිතූ නිලධාරීන් ඔහු වෛද්‍යවරයාටද යොමු කර ඇත. එහිදී කළ පරීක්‌ෂණවලදී මෙම යකඩ බෝල තොගය සොයාගෙන ඇත.

කෙසේ නමුත් ඔහුට වෛද්‍ය සහතිකය ලබාදී නොමැති අතර අවශ්‍ය උපදෙස්‌ පමණක්‌ ලබා දී ඇත.

රියෑදුරු බලපත්‍ර ලබා ගැනීමට පැමිණි අය වෛද්‍ය පරීක්‌ෂණයට ඉදිරිපත් කිරීමෙන් පසු දියවැඩියාව, ඇස්‌ පරීක්‌ෂාව, බෝ නොවන රෝග පිළිබඳව සවිස්‌තර වාර්තාවක්‌ ලබාදෙන අතර තමන්ගේ ශාරීරික දොaෂ නිවැරදි කරගෙන වෛද්‍ය පරීක්‌ෂණයට ඉදිරිපත් වීම තුළින් මෙවැනි අපහසුතාවන්ට පත්වීම සිදු නොවන බවද මෙම පරීක්‌ෂණ සිදුකරන්නේ රියෑදුරු බලපත්‍රය ලබාගන්නා පුද්ගලයාගේත් අන් අයගේත් ආරක්‌ෂාව වෙනුවෙන් බවද වෛද්‍ය ජී. කරුණාරත්න මහතා පැවැසීය.