ටිරාන් - එමිල් කාන්තන් ඇතුළු හතරකට නඩු

උතුරු, නැඟෙනහිර ප්‍රදේශවල සුනාමියෙන් විනාශ වූ නිවාස ඉදිකිරීමට මහා භාණ්ඩාගාරයෙන් රාධා ආයතනය වෙත ලබාදුන් රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා හතක් යටතේ රාධා ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ උතුරු, නැ‍ඟෙනහිර මූල්‍ය අංශ ප්‍රධානී එමිල් කාන්තන් ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීය.

නීතිපතිවරයා පැවරූ එම නඩුව සඳහා ලබන 24 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ටිරාන් අලස් මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනාට සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය නියෝග කළාය.

රාධා ආයතනයේ හිටපු සභාපති ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝපර් අලස්, එල්. ටී. ටී. ඊ. සංවිධානයේ දේශපාලන අංශ උතුරු, නැ‍ඟෙනහිර මූල්‍ය කටයුතු බාරව කටයුතු කළ ඇන්තනි එමිල් ලක්ෂ්මි කාන්තන්, රාධා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියකුව සිටි රොහාන් සාලිය අබේසිංහ වීරවික්‍රමසූරිය හා එම ආයතනයේ හිටපු නිලධාරිවරයකු වූ ජයන්ත ඩයස් සමරසිංහ යන විත්තිකරුවනට නීතිපතිවරයා එසේ නඩු පවරන ලදී.

පොදු දේපළ පනත යටතේ හා ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව මෙසේ අධි චෝදනා නගා ඇත.