පොලිසියේ වැටුප් ඉහළට

ජනවාරි මස 01 වැනිදා සිට පොරොන්දු වූ පරිදි පොලිස් සේවාවේ වැටුප් වැඩිකරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පැවැසීය.

ජනතාවට වැඩදායි නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිස් සේවාවක් බිහිකිරීම රජයේ අරමුණ බව ද සාගල රත්නායක මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ 450 වන පොලිස් ස්ථානය ලෙසින් මාතර කොටවිල නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (14) දින සහභාගි වෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය. නව පොලිස් ස්ථාන බොහොමයක් පිහිටා තිබෙන්නේ ගම්බදවයි. පොලිස් මුරපොලවල් අංග සම්පුර්ණ පොලිස් ස්ථාන බවට පත්ව තිබෙනවා. මේ පොලිස් ස්ථාන විශාල වෙන්න අවශ්‍ය නැහැ. ගම දියුණු වෙද්දී ජනාකීර්ණ ‍වන විට, ජනතාව කාර්යබහුල වෙනවා. පොලිස් වසමකම ඉන්න ජනතාව වැඩි වෙද්දී අලුත් ක්‍රමවලට පොලිසිය දියුණු විය යුතුයි. සිංගප්පුරුව, අමෙරිකාව වගේ රටවල සම්පුර්ණයෙන්ම තාක්ෂණය භාවිතා කරමින් ක්‍රියාත්මක වෙනවා. නමුත් අපේ රටේ පොලීසිය තවමත් ඒ තත්ත්වයට පත්ව නැහැ. නමුත් අප එම තැනට යායුතුයි.

කොළඹ මේ වන වන විට එම තැනට ගෙන ගොස් තිබෙනවා. එහෙත් අපේ ගමේ තවමත් තාක්ෂණය භාවිතා වන්නේ නැහැ. පොලිස් සේවාවන් ක්‍රියාත්මක කිරීමේ දී ජනතාවට හිතවත්ව වැඩ කරන නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිස් සේවාවක් ඇති නොවුනහොත් රටක් දියුණු කිරීම අපහසු බව ද ඒ මහතා පැවැසීය.

පසුගිය වසරේ ජනවාරි 08 වැනිදා අපේ ර‍ට නීතියට අනුකුලව ජිවත්වන සමාජයක් ඇති කිරීමට රජය ක්‍රියා කළා. එම ගමන දුෂ්කර කටයුත්තක්. අපේ රටේ නීතියත් අලුතින් හදන්න ඕන. අපේ රටේ සංවිධානාත්මක අපරාධ වැඩිවෙලා. එම අපරාධ මැඬලීමට අපේ රටේ නීතිය ඒ සඳහා ක්‍රියාත්මක වුවත්, එයට මුහුණ දෙන්න එය ප්‍රමාණවත් නැහැ. අප රට තුළ ක්‍රියාත්මක සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් නොවන නිසා ඒ සුදුසු පරිසරයක් නිර්මාණය නොවන නිසා වෙනත් නීති පාවිච්චි කරන්න ‍වෙනවා. ඒක පොලිස් නිලධාරීන්ගේ වරදක් නොවේ. ඒ සඳහා අලුත් නීති සකස් කර සංවිධානාත්මක අපරාධ මැඬලීමට පනතක් ගෙන එනවා. එසේම ත්‍රස්තවාදී මැඪලීමේ පනතක් ගෙනඒමටත්, කටයුතු කරන අතර එම පනත් ගෙන එන්නේ අපේ රටේ ස්වරීභාවය ආරක්ෂා කිරීමටත්, රටේ ආරක්ෂාව සහතික කිරීමටත් බව රත්නායක මහතා පැවැසීය.

එම අවස්ථාවට පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.