කළුබෝවිල රෝහ‍ලේ දොස්තරගෙන් තරුණියකට අතවර

ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලට පරීක්ෂණයක් සඳහා පැමිණි තරුණියකට කළුබෝවිල ශික්ෂණ රෝහ‍ලේ අධිකරණ වෛද්‍යවරයා අතවරයට ලක් කිරීමේ සිද්ධිය පිළිබඳ වහාම පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා කළුබෝවිල ශික්ෂණ රෝහ‍ලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට නියෝග කර තිබේ.

පෙම්වතා පහර දීම හේතුවෙන් 21 හැවිරිදි තරුණියක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ඇති අතර එම රෝහ‍ලේ අධිකරණ වෛද්‍යවරයකු නොමැති බැවින් එම පරීක්ෂණය සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල් අධිකරණ වෛද්‍යවරයා රෝහලට ගෙන්වා තිබේ.

එම අවස්ථාවේ දී අධිකරණ වෛද්‍යවරයා අධිකරණ වෛද්‍ය කාර්යාලය තුළ දී මෙම තරුණිය ලිංගික අතවරයට ලක් කර ඇති බවත්, එසේ කර ඇත්තේ කාන්තා නිලධාරිනිය කාමරයෙන් පිටතට යවා පරීක්ෂණය කරන මුවාවෙන් බවත් පැවසේ.

එම සිද්ධිය ජයවර්ධනපුර රෝහ‍ලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්න මහතාට තරුණිය පැමිණිලි කිරීමෙන් පසුව අධ්‍යක්ෂවරයා කොහුවල ‍පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.

ඒ අනුව කොහුවල ‍පොලිසිය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අධිකරණ වෛද්‍යවරයාට ‍පොලිසියට පැමිණ කට උත්තරයක් දෙන ලෙස දැනුම් දී තිබියදීත් එම වෛද්‍යවරයා පැමිණ නැති බව කොහුවල ‍පොලිසිය පවසයි.

ඊට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇති අතර එම නියෝගය අනුව පරීක්ෂණයක් ආරම්භ කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයා කළුබෝවිල රෝහලට නියෝග කර ඇත.