තිදෙනෙක් එක්වී දෙදරු මවක් කෙළසලා

මියගිය හමුදා සෙබළෙකුගේ බිරිඳවූ තිස් හැවිරිදි දෙදරු මවක් හමුදා සෙබළෙකු හා ත්‍රිරෝද රථ රියැදුරන් තිදෙනකු විසින් සමූහ දූෂණය කිරීම පිළිබඳව අරණායක ‍පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

දෙබත්ගම, කුමාරපුර පදිංචි දෙදරු මවක වූ මෙම කාන්තාව සැමියා මියයාමෙන් පසු සිය දෙමාපියන්ගේ නිවස අසල නිවසක් ඉදි කරගෙන දරු දෙදෙනා ද සමග එහි පදිංචිව සිට අත. ඇය පවු‍ලේ ගමන් බිමන් සඳහා නිතර දෙවේ‍ලේ යොදා ගත් දෙබත්ගම නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන් තිදෙනකු විසින් මෙම අපරාධය සිදුකර ඇති බව ද පැවසේ.

පසුගිය අගෝස්තු 05 වැනිදා රාත්‍රි සිදුකර ඇති මෙම දූෂණ සිද්ධියට මුහුණපෑ කාන්තාවට මෙය හෙළිකළහොත් පවුලම මරාදමන බවට සැකකරුවන් විසින් තර්ජනය කර තිබිම නිසා මෙම කාන්තාව එය රහසක් වශයෙන් වසන් කරගෙන සිටියදී යළිත් වරක් පසුගිය 19 වැනිදා රාත්‍රියේද ඔවුන් ඇගේ නිවසට පැමිණ දොරට ගසා ඇත.

මේ හඬ ඇගේ මහගෙදර උදවියට ඇසී එදෙසට විදුලි පන්දම් දල්වා විපරම් කරද්දී සැකකරුවන් පලාගොස් ඇති අතර, ඒ අනුව ඇය සිද්ධිය තව දුරටත් මුල්සිදුවීම වසන් කරගෙන ඊට පසුව සිදුවූ සිද්ධිය පිළිබඳව පමණක් ‍පොලිසියට පැමිණිලි කර ඇත. දින කිහිපයක් ගතවෙද්දී ඇය සිද්ධිය ‍පොලිසියට පැමිණිලි කළ බව ත්‍රිරෝද රථ රියැදුරන්ට සැලවීමත් සමගම නැවත වරක් එහි පැමිණ ඇයට මරණීය තර්ජන එල්ල කර ඇත.

ඒ අනුව ඇය යළිත් වරක් ‍පොලිසියට පැමිණ තමන් සති දෙකකට කලින් මුහුණපෑ කරදරය පිළිබඳ අනාවරණය කරමින් ‍පොලිසියට පැමිණිල්ලක් කර ඇත. මේ අනුව වහාම ක්‍රියාත්ම වූ අරණායක ‍පොලිසියේ නිලධාරීන් පිරිසක් ඒ වන විට කට්ටි පනිමින් සිටි සැකකරුවන් සිව් දෙනාගෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ පලාගොස් සිටිතැයි කියන හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට මේ වන විට සෝදිසි මෙහෙයුමක් දියත්කර ඇති බව සඳහන්ය.

මෙලෙස අත්අඩංගුවට පත් දෙදෙනකු විවාහයකයන් වන අතර ඉන් අයකු මාස 5කට පෙර විවාහ වූ අයකු බවත් අනෙකා එක් දරු පියකු බවත් ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඩබ්ලිව්. තරිඳු චතුරංග කරුණාරත්න, ආර්. ඒ. සුදේශ් ඉන්දික රණසිංහ, හා අයි. පී. ප්‍රදීප් කුමාර නමැති මෙම සැකකරුවන් තිදෙනා 26 වැනිදා මාවනැල්ල දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් එල්.කේ. මහින්ද ලියනගම මහතා වෙත ඉදිරිපත් කරන ලදුව සැප්තැම්බර් මස 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අනෙක් සැකකරු ද අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට විනිසුරුවරයා විසින් නියෝග කරන ලදී.

තවද මෙහිදී දූෂණයට ලක්වූ බව කියන දෙදරු මව කෑගල්ල මහ රෝහල වෙත යොමුකොට වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන ලෙසට ද ‍පොලිසියට විනිසුරුවරයා විසින් නියෝග කර ඇත.