තේ සල්ලි ගත්තොත් මං ඇමැතිකමින් යනවා

සිලෝන් ටී වෙළෙඳ නාමය ලෝකය පුරා ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය සතුව තිබෙන රුපියල් මිලියන 60ක මුදල මහා භාණ්ඩාගාරයට පවරා ගැනීමට කටයුතු කරන බවත් තමා එසේ පවරා ගතහොත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මිහිදුම්වැලි වැවිලි සමාගම මගින් ස්ථාපනය කරන ලද මිහිදුම්වැලි තේ සැකසුම් මධ්‍යස්ථානය ඊයේ (18) විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මෙම ඩොලර් මිලියන 60 මුදල තේ අපනයනය කිරීමේදී අය කරන ලද සෙස් බදු මුදල් බවයි. 

මේ නිසා මෙම මුදල් සිය ගැටලු විසඳා ගැනීම සඳහා පවරා ගැනීමට මහා භාණ්ඩාගාරයට කිසිදු අයිතියක් නොමැති බවද අමාත්‍යවරයා පැවසීය. එම නිසා අදාළ මුදල පවරා ගත හොත් තමා තවදුරටත් අමාත්‍ය ධුරයේ රැඳී සිටීමේ පලක් නොමැති බවද මෙහිදී සඳහන් කළේය.

අදාළ මුදල පවරා ගැනීමට ක්‍රියාකිරීම අසාධාරණ වන බවත් යහපාලන රජය පිහිටුවා ගනු ලැබුවේ මෙවැනි වැරදි ක්‍රියා නතර කිරීමේ අරමුණින් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මේ නිසා මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් මෙන්ම ජනාධිපතිවරයාගෙන් ද තමා මෙම අසාධාරණය නොකරන ලෙසට ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එලෙසම ඉදිරියේදී ඇමෙරිකාව, චීනය, තුර්කිය හා ඉරානය සඳහා අලෙවි කරන තේ ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට අවස්ථාව උදා වී තිබෙන බවද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය. සිලෝන් ටී නාමයට කළු පැල්ලමක් එක් කරන කසළ තේ අත්අඩංගුවට ගත් විට විවිධ දේශපාලකයන් ඒවා නිදහස් කරන ලෙසට බලපෑම් කිරීම හමුවේ තමා අසරණ වුවද කිසිදු වැරදි තීරණයක් ගැනීමට තමා ක්‍රියා නොකරන බවද මෙහිදී දිසානායක මහතා අවධාරණය කර සිටියේය.