ත්‍රිරෝද රියැදුරන් මත්කල හොරා මෙන්න

ත්‍රිරෝද රථවල නැඟී දුර ගමන් යන මුවාවෙන් ගොස් අතරමඟදී බීම වර්ග දී රියැදුරුන් මත් කොට රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ ජාවාරමක නිරත පුද්ගලයකු පිළිබඳ තොරතුරු හොරණ හා අවට පොලිස් වසම් ගණනාවකින් මේ වනවිට වාර්තා වෙමින් තිබේ.

අසල පෙදෙසකට යෑමට මෙන් මුලින්ම ත්‍රිරෝද රථවලට ගොඩවන මොහු ටිකක් දුර යෑමේදී පැමිණෙන දුරකතන ඇමතුමකට ප්‍රතිචාර ලෙස ගමන් මඟ වෙනස් කරමින් තරමක් දුර ගමන් කරන්නේ රියැදුරා වෙහෙසට පත්වන අයුරිනි. පසුව අසල වෙළෙඳසලක් ළඟ ත්‍රිරෝද රිය නවත්වා බීම හෝ තැඹිලි වැනි දෙයක් තමන්ද පානය කරමින් රියැදුරාටද ගෙන එයි. 

එහෙත් රියැදුරාට ලබාදෙන පාන වර්ගයට රහසිගත ලෙස මත්කාරකයක් ඇතුළත් කිරීමට මෙම පුද්ගලයා ක්‍රියා කරයි. අදාළ තැඹිලි හෝ බීම බෝතලය පානය කරන රියැදුරු මත්වීමෙන් පසු ඔහු සතු රන් හා මුදල් සියල්ල කොල්ලකා මෙම පුද්ගලයා පලා යයි. 

මෙලෙස හොරණ ප්‍රදේශයේ ත්‍රිරෝදරියක් කොල්ලකෑමට රියැදුරු රවටාගෙන පසුගියදා රැගෙන ගොස් තිබේ. විපතට පත් රියැදුරා මේ පිළිබඳ හොරණ පොලිසියට පැමිණිලි කර ඇත. පසුව අදාළ ත්‍රිරෝද රථ රියැදුරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඉංගිරිය නගරයේදීද මොහු ත්‍රිරෝද රියෙන් බැස්ස බව අනාවරණය වී තිබේ. 

ඒ අනුව කළ පරීක්‍ෂාවකදී නගරයේ වෙළෙඳසලක සී.සී.ටී.වී. කැමරාවක මොහුගේ රුව සටහන්ව තිබූ අතර අදාළ ත්‍රිරෝද රථ රියැදුරු සැකකරු හඳුනාගෙන තිබේ. වසම් ගණනාවක සිදුකර ඇති මෙවැනි කොල්ලකෑම් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව ඇත. 

ඡායාරූපයේ සිටින පුද්ගලයා ගැන කිසියම් තොරතුරක් වේ නම් හොරණ මූලස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්‍ෂක තරිඳු හෙට්ටිආරච්චි මහතාගේ 077 - 2247118 ජංගම දුරකතන අංකයට හෝ හොරණ පොලිස් ස්ථානයේ 034 - 2261223 අමතා අදාළ තොරතුරු දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් කෙරේ.