දරුවකු යොදා පක්ෂයට මඩ ගැසීම නින්දාවක්

පාද යාත්‍රාවට කුඩා දරුවකු යොදාගෙන මඩ ගැසීම, දරුවන් සුරකින, ආරක්ෂා කරන, ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු කළ ඉමහත් නින්දාවක් සහ අපහාසයක් බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය.

මෙහි දී කුඩා දරුවකු යොදා ගනිමින් පාද යාත්‍රාව අතරතුර දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ පක්ෂ නායකත්වයට අපහාස වෙන අයුරින් කළ ප්‍රකාශයන් ඇතුළත් වීඩියෝ දර්ශන මාධ්‍ය වෙත ගෙන හැර දක්වමින් ඇමැතිවරයා එසේ සඳහන් කළේය. ඇමැතිවරයා එසේ සඳහන් කළේ කොළඹ මල් පාරේ පිහිටි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ(2)දා පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

'අපේ රට බේරාගත් අප්පච්චිට ජය වේවා කියමින් කුඩා දරුවකු යොදා පාද යාත්‍රාවේ දී කළ ක්‍රියාව කිසිසේත් අනුමත කරන්න බැහැ. පක්ෂයට සහ පක්ෂ නායකත්වයට එරෙහි සටන් පාඨ කීමට අවුරුදු අටක කුඩා දරුවකු යොදා ගැනීම අපේ සංස්කෘතියට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. ඔවුන් කරන්නේ කුමක් අරඹයා දැයි යන්න ප්‍රශ්නයක්. අපිත් මේ රටේ පාගමන් ගොස් තිබෙනවා. පාගමන්වල සටන් පාඨ තිබෙනවා. මෙහි තිබෙන්නේ ලන්දේසි ජාතිකයන්ගේ පෙරහරක ස්වරූපයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේකම සංස්කෘතිය ආරක්ෂා කරන දරුවන් වෙනුවෙන් කැපවූ, දරුවන් රැක ගන්නා පක්ෂයක්. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටිය දී නිරන්තරයෙන් දරුවන් ගැන කතා කළා. ඒකාබද්ධ විපක්ෂයේ පිරිස කුඩා දරුවකු ඉත්තා කරගනිමින් කළ ක්‍රියාව පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. මෙය මහින්ද රාජපක්ෂ මහතාට ද කළ අගෞරවයක්. පක්ෂයට වෛරයෙන් කළ පාගමනක් බව මෙයින් තහවුරු වෙනවා' යැයිද ඇමැතිවරයා පැවැසීය.