විජයදාසට විගණකාධිපති විරෝධය

සමස්ත රාජ්‍ය සේවයම යට කෙරෙන ඒකාධිපති විගණන කොමිසමක් පිහිටුවීමට යන බවට වැරැදි ආකල්පයක් ඇතිවන අන්දමෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මාධ්‍යට කර ඇති ප්‍රකාශයට බලවත් කනගාටුව ප්‍රකාශ කරන නියෝජ්‍ය විගණකාධිපති ලලිත් අඹන්වල මහතා ඇමැතිවරයාගේ එම අදහස් ප්‍රතික්ෂේප කරයි.

විගණන කොමිෂන් සභාවේ කාර්ය සහ කාර්තව්‍ය පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇතැයිද එම කොමිෂන් සභාව පත්කර ඇත්තේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා පරිපාලන ස්වාධීනතාව වෙනුවෙන් යැයිද පිහිටුවීමට අපේක්ෂිත රාජ්‍ය සේවා විගණන සේවාවේ නිලධාරීන්ගේ පත්කිරීම්, මාරු කිරීම්, උසස් කිරීම් සහ විනය කටයුතු විගණන කොමිසමට එම පනතින් පැවැරෙන්නේ යැයිද ජාතික විගණන ආයතනයේ අය - වැය සම්බන්ධ පරීක්ෂා කර කතානායකවරයාට ඉදිරිපත් කිරීමේ කාර්යභාරයක් විගණන කොමිෂන් සභාවට පැවැරෙන්නේ යැයිද කීය.

එසේ වුවද අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ ඒකාධිපති විගණන කොමිෂන් සභාවක් පිහිටුවන බව වුවත් එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද අඹන්වල මහතා කීය.

අධිකරණ ඇමැතිවරයා එම ප්‍රකාශය කුමන පදනමකින් කළා දැයි නොදන්නා බවද රාජ්‍ය සේවයට විගණන කොමිෂන් සභාව යටත් නොවන බවද ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවතින බැවින් කොමිසම පිළිබඳව පැහැදිලි අන්දමින් විස්තර කර තිබියදී වැරැදි අර්ථ නිරූපණය කිරීම බැහැර කරන බවද කීය.

ජාතික විගණන පනත දීර්ඝ ඉතිහාසයක් ඇති පනතක් බවත් 2003 වර්ෂයේදී ලෝක බැංකු වාර්තාවක දක්වා ඇත්තේ විගණකාධිපතිගේ කාර්යභාරය ස්වාධීනව තිබිය යුතු බවත් විගණකාධිපතිගේ මූල්‍ය පාලනය මහා භාණ්ඩාගාරය මත පැවතියහොත් විගණකාධිපතිගේ මූල්‍ය ස්වාධීනත්වයක් නොවන බවත් ඔහු සඳහන් කෙළේය