31 වැනි ඔලිම්පික්‌ උළේල ඇරඹේ

බ්‍රසීලයේ රියෝද ජැනෙයිරෝ නුවර මරකානා ක්‍රීඩාංගණයට ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් 31 වැනි ඔලිම්පික්‌ සමාරම්භය ඊයේ (05 දා) සන්ධ්‍යාවේදී පැවැත්වුණි.

මෙම සමාරම්භය විචිත්‍රවත් කිරීමේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන ලද්දේ බ්‍රසීලයේ අංක එකේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වන පර්නැන්ඩෝ මෙරිලෝස්‌ විසිනි. ඔහු බ්‍රසීල ඇකඩමි චිත්‍රපට උළෙලේ පිට පිට සිව්වරක්‌ හොඳම අධ්‍යක්‍ෂවරයා ලෙසද සම්මානයට පාත්‍ර විය.

විවිධ ජාතීන් සිටින බ්‍රසීලයේ කළු, සුදු, දුප්පත්, පොහොසත් කියා කිසිම වෙනසක්‌ නැති බවත් එබැවින් සියලුම ජාතීන්ගේ එකමුතුකම සහ මානසික සුවයට ගැලපෙන පරිදි මෙම සමාරම්භය හැඩ ගන්වා ඇති බව 60 හැවිරිදි මෙරිලෝස්‌ පවසා තිබේ.

ඊයේ සමාරම්භයට පෙර දිනයේදීද ජාතික කණ්‌ඩායම් මෙන්ම සමාරම්භය හැඩ ගන්වන ශිල්පීන් මරකානා ක්‍රීඩාංගණයේදී පෙරහුරුවකද නිරත විය. බ්‍රසීලයේ වීදි පුරා ජනතාව මෙම සමාරම්භය වෙනුවෙන් විශාල උද්යෝගයක්‌ පෙන්නුම් කළ බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.

මෙවර ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙල සඳහා රටවල් 206 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,239 ක්‌ ක්‍රීඩා 28 ක්‌ නියෝජනය කරනු ලබයි. දැඩි ආරක්‌ෂක රැකවල් මධ්‍යයේ මෙම සම්මාන උළෙල හැඩගැන්වුණි.

මෙවර ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙල නියෝජනය කරන නව දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වය හිමිව තිබෙන මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ විසින් ශ්‍රී ලංකා ධජය අතැතිව සමාරම්භයට සහභාගි විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කිමිකෝ රහීම් හෙට වැඩ අරඹයි

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් පළමු තරගයට හෙට (07 දා) පිහිණුම් ශූරි කිමිකෝ රහීම් තරග වැදීමට නියමිතය. ඇය මීටර 100 පසුපස ආර නියෝජනය කරමින් තරග වැදීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග කාල සටහන

අගෝස්‌තු 7 දා - කිමිකෝ රහීම් (පිහිනුම් මීටර - 100 පසුපස ආර)

අගෝස්‌තු 8 දා - මංගල සමරකෝන් (වෙඩි තැබීම - මීටර 10 වායු රයිෆල්)

අගෝස්‌තු 8 දා - චාමර ධර්මවර්ධන (ජුඩෝ - කි.ග්‍රෑ 74 බර පංතිය)

අගෝස්‌තු 9 දා - මැතිව්ස්‌ අබේසිංහ (පිහිනුම් - මීටර 100 නිදහස්‌ ආර)

අගෝස්‌තු 9 දා - සුදේශ් පීරිස්‌ (කි.ග්‍රෑ.62 බර පංතිය)

අගෝස්‌තු 11 දා - නිලුක කරුණාරත්න (බැඩ්මින්ටන් කේවළ ඉසව්ව)

අගෝස්‌තු 12 දා - මංගල සමරකෝන් (වෙඩි තැබීම)

අගෝස්‌තු 14 දා - ගීතානි රාජසේකර (මැරතන්)

අගෝස්‌තු 18 දා - සුමේධ රණසිංහ (හෙල්ල)

අගෝස්‌තු 21 දා - අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ (මැරතන්)