නාමල් මැගසින් බන්ධනාගාරයට Video

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආවා. ඒ, ධාරාණිපාත වර්ෂාවක් ද ඇදහැලෙමින් තිබියදීයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.


ශ‍්‍රී ලංකාවේ රග්බි ක‍්‍රීඩාව සංවර්ධනය සඳහා ක‍්‍රිෂ් ආයතනය විසින් ලබාදුන් රුපියල් මිලියන 70ක මුදලක් අවභාවිත කළ බවටයි නාමල් රාජපක්ෂ මහතා චෝදනාවට ලක්ව සිටින්නේ.

ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද පෙරවරුවේ නාමල් රාජපක්ෂ මහතාට කැඳවීමක් ලැබී තිබුණු අතර ඔහු අත්අඩංගුවට ගැනුණේ එම ප‍්‍රශ්න කිරීම්වලින් පසුවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අත්අඩංගුවට ගැනීම දේශපාලන බලපෑමක් මත සිදුවූවක් දැයි සැක උපදින බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ පේ‍්‍රමනාත් සී. දොළවත්ත මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.

නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කරමින් අධිකරණ නියෝගය ලබාදීමෙන් පසුව ද නීතිඥ පේ‍්‍රමනාත් සී. දොළවත්ත මහතා මාධ්‍යවේදීන් වෙත නැවත අදහස් දැක්වූවා.

එහිදී ඔහු කියා සිටියේ අදාළ පැමිණිල්ල පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලැබී ඇති ආකාරය ද ගැටලු සහගත බවයි.