මඩ ප්‍රහාර වලට අධිකරණ ක්‍රියාමාර්ග

විදුලි බල මණ්ඩලයට ගල් අඟුරු ගෙන්වීමේදී සිදුව ඇති ටෙන්ඩර් ක්‍රියාවලීය හා වෙනත් සිදුවීම් පදනම් කරගනිමින් තමන්ට එරෙහිව චෝදනා එල්ල කරන මහින්ද රාජපක්ෂ කල්ලියේ වාසුදේව නානායක්කාර මහතා ඇතුළු සියලු අවතාර හා එම මඩ ප්‍රහාර වලට සහාය දක්වන මාධ්‍ය ආයතන වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව මහනගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ කල්ලියේ අවතාර ලෙස පෙනී සිටින වාසුදේව නානායක්කාර වැන්නන්, මෙම ගල් අගුරු සිද්ධියට තමන් වගකිව යුතු බවට වීරයින් ලෙස සඳහන් කළද එම රජය එවකට සිදුකළ ගල් අඟුරු වංචාවන් පිළිබඳ එදා නිහඩව සිටි බව ද ඇමැතිවරයා පැවැසීය.

ප්‍රතිපත්ති ගරුක දේශපාලනයේ නිරතවන තමන් වැනි දේශපාලකයින්ගේ ප්‍රතිපත්ති විවේචනය කිරීමට කොන්දක් නැති ඇතැම් මාධ්‍ය ආයතනද විවිධ අවලාද හා මඩ චෝදනා එල්ල කරමින් තමන්ට හානිකරන්නට උත්සාහ දරන බවද ඇමැතිවරයා සඳහන් කෙළේය.

පුවත්පත් ආයතන පවත්වාගෙන යමින් දේශපාලකයන්ගේ චරිත ඝාතනය කිරීමට හා දේශපාලකයන් තම සාක්කු වලට දමාගැනීමට උත්සාහ දරන ටිරාන් අලස් යනු ගෝල්ෆේස් පිටියට ගෙනවිත් නඩු ඇසිය යුතු ත්‍රස්තවාදියෙක් බවත් පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ මහර නගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය සාකච්චාවකට සහභාගී වෙමිනි.

කොටින්ගේ මුදල් වලින් යැපෙන ටිරාන් අලස් සම්බන්ධයෙන් රටට හෙළිකෙළේ තමන් බවත් රාඩා ආයතනය හරහා කොටි සංවිධානයට මුදල් ලබාදී ඇති බව එවකට සඳහන් වුවද එම මුදල් ලබාගෙන ඇත්තේ ටිරාන් අලස් බවද ඇමැතිවරයා පැවැසීය.

වැඩිදුරටත් අඳහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා:-

අද සමහර මාධ්‍ය තුළ දක්නට ලැබෙන්නේ ෆැසිස්ට්වාදයක්.මාධ්‍ය සදාචාරය ඇතැම් මාධ්‍ය තුළ දක්නට ලැබෙන්නෙම නැහැ. මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් වෙනුවෙන් සිවිල් නීතිය යටතේ කටයුතු කිරීමට 2002 වසරේදී ඉඩකඩ ලබාදුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි.නමුත් ඇතැම් මාධ්‍යවල හැසිරීම පිළිකුල් සහගතයි.කොටින්ගේ මුදල් වලින් මඩ ගහන ටිරාන් අලස් ගැන රට දැනගත යුතුයි.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය වැනි අයගේ දේශපාලනයත් මඩ පත්තර හරහා විනාශ කරන්නට මේ තැනැත්තා උත්සාහ කළා.අපි එකක් කියනවා.මඩ කොටින්ට අපි බය නැහැ.

ඩී එස් සේනනායක වැනි විද්‍යාල බිහිකළේ අලස් පරම්පරාවේ වැදගත් මිනිසුන්.ඒ අය ඇතිකළ පාසල් වල දරුවන් පවා කොටි සංවිධානය විසින් ඝාතනය කළා.

එවැනි භීෂණයක් සිදුකළ කොටි සංවිධානයේ මුදල් වලින් වැඩකරන මේ මිනිස්සුන් පිළිබඳ ජනතාව දැනගත යුතුයි.මේ මිනිසුන්ට එදා මහින්ද රාජපක්ෂ පාලනය කරපු වැරදි විවේචනය කරන්නට තරම් කොන්ද පණ තිබුණේ නැහැ.