රට යන්න දුමින්ද කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතන නඩුවේ 11 වන විත්තිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීමට අවසර ලබා දෙන මෙන් කළ ඉල්ලීම නඩුව විභාගයට ගන්නා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (14) ප්‍රතික්ෂේප කරනු ලැබීය.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලට යෑමට අවශ්‍ය බවට ඉල්ලීම් කර තිබුණ ද ඒ සඳහා අවශ්‍ය අධිකරණය සෑහීමට පත්විය යුතු කරුණු ඉදිරිපත් කර නොමැති බව ප්‍රකාශ කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල එම ඉල්ලීම එසේ ප්‍රතික්ෂේප කරනු ලැබීය.

විත්තිකාර දුමින්ද සිල්වා මහතා සිය නීතිඥ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විසින් එම ඉල්ලීම පසුගියදා ඉදිරිපත් කර තිබුණි.

කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න (සභාපති) පද්මිණී එන්. රණවක ගුණතිලක හා එච්.සී.බී.එස්. මොරායස් යන මහත්ම මහත්මින්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ එම නඩුව විභාගයට ගැනේ.