තෙවරප්පෙරුම අත්අඩංගුවට

කළුතර,මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් සිසුන් ඇතුළත් කළ බවට චෝදනා කරමින් සිසුන් 09 දෙනෙකුගේ මව්වරුන් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සිදුවීමට අනුබල දුන් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් උපවාසයක් සිදුකරනු ලැබුවේද මෙම  09 දෙනා ඇතුළු සිසුන් 10දෙනා ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිමිනි.

කෙසේ වෙතත් එම උපවාසය අවසාන වූයේ නි.අමාත්‍යවරයා සියදිවි නසාගැනීමට දැරූ උත්සාහයකින් වන අතර එය අවසන්වූයේ තෙවරප්පෙරුම මහතා මෙන්ම විදුහල්පතිවරයා ද හදිසියේ රෝහල් ගත කිරීමෙනි.

කෙසේ වුවද පසුව මෙම සිසුන් අදාළ පාසලට බඳවාගෙන ඇති අතර එසේ බලපෑම් කොට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සෙසු දරුවන්ගේ මව්පියන් විසින් උද්ඝෝෂණයක් ද සංවිධානය කර තිබිණි.

අද මෙසේ බලහත්කාරයෙන් ඇතුළත් කරනු ලැබූ දරුවන් රැගෙන එම දරුවන්ගේ මව්වරුන් පාසලට පැමිණි පසු ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් කටයුතු කර තිබේ.

මේ පිළිබඳව කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් මීගහතැන්න පොලීසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ 'අයුතු ජන රාශිය'සිදුකිරීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගනු ලැබූ මව්වරුන් නවදෙනා අද සවස අධිකරණයට ඉදිරිපත් කරන බවද සඳහන්ය.