අසාද් සාලි අත්අඩංගුවට ගත යුතුයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යම් සීරීමක්‌ හෝ සිදුවුවහොත් එහි වගකීම මුස්‌ලිම් කවුන්සිලය සහ ජනාධිපති උපදේශක අසාද් සාලි මහතා භාරගත යුතු බව එම සංවිධානයේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියෝ ඊයේ (05 වැනිදා) අවධාරණය කර සිටියහ.

උන්වහන්සේ ඊයේ (05 වැනිදා) එම අදහස්‌ පළ කළේ හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ජනාධිපති උපදේශක අසාද් සාලි මහතාට එරෙහිව පොලිස්‌පතිවරයාට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමිනි.


ඥනසාර හිමියන් නබි නායකතුමන්ට අපහාස කළොත් උන්වහන්සේ මරාගෙන මැරෙනවා යි අසාද් සාලි මහතා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් මෙම ලිත පැමිණිල්ල සිදුකර තිබේ.

මෙම මරණ තර්ජනය කළ අසාද් සාලි මහතාව වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පැමිණිල්ලේ සඳහන්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මාගල්කන්දේ සුදන්ත හිමියෝ මෙසේ ද පැවසූහ.

සාමාන්‍යයෙන් මරාගෙන මැරෙන්නේ ත්‍රස්‌තවාදීන්. මේ අනුව අසාද් සාලි මහතාත් ජෙහාද් හා අයි එස්‌ අයි එස්‌ ත්‍රස්‌තවාදියකු වෙන්න පුළුවන්. ඔහු එම සංවිධානවල ලංකාවේ නියෝජිතයා ද කියා සැකයක්‌ මතුවෙනවා.

මෙම ප්‍රකාශයෙන් සිංහල බෞද්ධයන් වික්‍ෂිප්ත වෙලා. ඒ වගේම කම්පනයට පත්වෙලා. අප ඥනසාර හිමියන්ව ආරක්‍ෂා කිරීමට පුළුල් බලවේගයක්‌ ගොඩනඟනවා.

හරි නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අසාද් සාලි මහතාව උපදේශක තනතුරින් ඉවත් කළ යුතුයි.

අසාද් සාලිට පුළුවන් නම් අයි එස්‌ අයි එස්‌ ත්‍රස්‌තවාදීන්ට එරෙහිව එක වචනයක්‌ හෝ කියන ලෙස අපි අභියෝග කරනවා. ඔහුට ගැටුමක්‌ අවශ්‍ය නම් අප ඒ දේටත් ලෑස්‌තියි.

මෙම අවස්‌ථාවට බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා ද එක්‌විය.