වැට්‌ බද්දට අත ඔසවන මන්ත්‍රීන්ට විරෝධයක්

දැනට රට තුළ ඉමහත් ආන්දොaලනයට තුඩුදී තිබෙන වැට්‌ බදු වැඩිකිරීමේ සංශෝධනය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේදී අත ඔසවන කිසිදු මන්ත්‍රීවරයකුට ඉදිරි මැතිවරණවලදී කිසිදු සහායක්‌ නොදීමට රටපුරා සිටින වෙළෙඳ සංගම් නියෝජිතයෝ තීරණය කර ඇතැයි වාර්තා වේ.

එම තීරණය සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුව විසින් ළඟදීම පවත්වන මහා සම්මේලනයක්‌ මගින් නිල වශයෙන් සම්මත කර ගැනීමටද නියමිතය. ඉන් පසු ඒ පිළිබඳව රටට ප්‍රකාශ කිරීමටද වෙළෙඳ සංගම් අපේක්‍ෂා කරයි.


රටේ වෙළෙඳ ප්‍රජාවට ඉතා අහිතකර සහ පාරිභෝගික ජනයා මත අසීමිත බර පටවන මේ වැට්‌ බදු සංශෝධනයට පක්‍ෂව කටයුතු කරන මන්ත්‍රීවරුන් ඔවුන්ගේ මැතිවරණ කොට්‌ඨාසවල දියත් කරන කටයුතුවලට අනුග්‍රාහකත්වය ලබාදීමෙන් වැළකී සිටීමට වෙළෙඳ ප්‍රජාව සූදානමින් සිටින බවද වාර්තා වේ.

ජන සමාජයෙන් එල්ල වී ඇති බලවත් විරෝධය නොතකා කෙසේ හෝ මේ වැට්‌ බදු සංශෝධනය සම්මත කර ගැනීමට රජය සූදානමින් සිටින බවත් එය මේ යහපාලන රජයේ පැවැත්මට මෙන්ම ඒ සඳහා අත ඔසවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉදිරි දේශපාලන ගමනටද තීරණාත්මක සාධකයක්‌ වනු ඇතැයි වෙළෙඳ සංගම් නියෝජතයන් පිරිසක්‌ ප්‍රකාශ කළහ.