විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ගැටුම හෙළා දකී

යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්‌ක කරගෙන සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බැව් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරනු ලැබ ඇති එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

ආචාර්යවරුන් සහ යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ඉදිරිපිටදී සිදු වූ මෙම ප්‍රහාරය සැලසුම් සහගතව ජාතිවාදී පදනමින් සිදු වී ඇති බව පැහැදිලිය.

දෙමළ සිසුන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්‌ථානයක නිදහසේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සිංහල සිසුන්ට ද ඒ ආකාරයෙන්ම තිබිය යුතු බව අපගේ වැටහීමයි. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී යාපනයේ සහ වවුනියාව මණ්‌ඩපයේ සිංහල සිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු.

තවද මේ ආකාරයේ ජාතිවාදී ක්‍රියාකාරකම් රටේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ බැවින් උතුරේ හමුදා ශක්‌තිය වර්ධනය කිරීමටත් කිසිදු හමුදා කඳවුරක්‌ ඉවත් නොකිරීමටත් රජය කටයුතු කළ යුතු බව අපේ අදහසයි.