නාමල් හෙට අත්අඩංගුවට !

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා හෙට (11) අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ඔහු එසේ අත්අඩංගුවට ගැනීමට යන්නේ, අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් හා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් (FCID) කල පැමිණිල්ලක් මතය.

අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙන ලෙස සහ අල්ලස් කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමට අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පසුගිය 30දා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ගොනු කළේය.

අල්ලස් කොමිසමේ දැනුම්දීම අනුව කටයුතු නොකර එය මඟහැරීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ කොමිසමට අපහාසයක් සිදුකර තිබේද යන්න විමසා බලන ලෙස‍ එම පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

කළු සල්ලි ?

නාමල් රාජපක්ෂ මහතා අයථා අන්දමින් වත්කම් උපයාගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව ඒ සම්බන්ධ විමර්ශන ඇරැඹූ බව පෙත්සමේ සඳහන් වෙයි.

සිය වත්කම් සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් 2016 ජනවාරි මස 20 දින හෝ ඊට පෙර ලබාදෙන‍ ලෙස 2015 දෙසැම්බර් 14 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අල්ලස් කොමිසම දැනුම් දුන් බව පෙත්සමේ සඳහන් වෙයි.

එහෙත් ඒ සඳහා මාර්තු මස 15 දා තෙක් කල් ලබාදෙන ලෙස නාමල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුව කාලය ලබාදුන්නද එදිනද ඔහු දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් නොකළ බව එහි සඳහන්ය.

අනතුරුව මැයි මස 25 දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අප්‍රේල් මස 28 දින නාමල් රාජපක්ෂ මහතාට දැනුම්දී සිතාසි යැවූ බව පෙත්සමේ දැක්වේ.

එහෙත් මන්ත්‍රීවරයා එම ඉල්ලීම ද නොසලකා හැර ඇත.

නඩු දැමීම ගෞරවයක් :

කෙසේවුවද, කළුතරදී පැවති ජන හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසුයේ, තමන් වැනි පුංචි කොල්ලෙකුට විරැද්දව අල්ලස් කොමිසම සුප‍්‍රීම් උසාවියේ නඩු දැමීම තමන්ට ගෞරවයක් යැයි පැවසීය.

තමනට හා තම සහෝදරයන්ට ඇති බව කියූ හෙලිකොප්ටර්, ලැම්බොගිනි, රත්තරන් අශ්වයන් හැකි ඉක්මනින් අල්ලාගෙන පෙන්වන ලෙස ඔහු ආණ්ඩුවට අභියෝග කළේය.

අද වන විට තම මවටද නඩු දමා ඇති බවත්, තවම නඩුවක් නැත්තේ පොඩි මල්ලිට පමණක් යයිද කී මන්ත්‍රීවරයා, ''මේ ආණ්ඩුව විසින් අල්ලස් කොමිසම සිරිකොතේ ශාඛාවක් කරලා. එම කොමිස ඒකාබද්ධ විපක්ෂය මර්ධනය කිරීමේ මධ්‍යස්ථානයයි. ඕකෙන් හිරේ දාන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අය විතරයි.'' යයි ද පැවසිය.

''ඉස්සර කිවුවේ මේ දිගටම නියෙන්නේ නාමල්ගේ හෝටල් කියලයි. ඒත් ඒ කියපු හෝටල්වලට මමත් අද ගියාම බිල ගෙවනවා. මං හැදුවයි කියපු හම්බන්තොට හෝටලයක් මේ ගොල්ලෝ ගිහින් විවෘත කළේ ලැජ්ජා නැතිව'' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.