තෙරේසා මේ බ්‍රිතාන්‍ය අගමැති පදවියට

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු භාර ලේකම් තෙරේසා මේ (Theresa May)සිය අනුප්‍රාප්තිකාව හැටියට බදාදා (13) අගමැති පදවියට පත් කෙරෙන බව අගමැති ඩේවිඩ් කැමරන් නිවේදනය කළේය.
මේ අනුව තෙරේසා මේ (Theresa May)) බ්‍රිතාන්‍යයේ දෙවන අගමැතිවරිය හැටියට ඉතිහාසයට එක් වනු ඇත.

කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා තෙරේසා මේ සමඟ තරඟ වැදුන ඇයගේ එකම ප්‍රතිවාදිනිය බවට පත්ව සිටි ඇන්ඩ්‍රියා ලීඩ්සම් (Andrea Leadsom) නායකත්ව පොරයෙන් ඉවත් වෙන බව නිවේදනය කිරීමත් සමඟ තෙරේසා එම බල අරගලයේ එකම අපේක්ෂිකාව බවට පත් වූවාය.


බ්‍රිතාන්‍ය යුරෝපා හවුලින් ඉවත් වීම තීන්දු කෙරුණ ජනමත විචාරණයෙන් අනතුරුව එම ක්‍රියාමාර්ගය පෙරට ගෙන යාම සඳහා හැකි ඉක්මනින් නව නායකයකු පත්කර ගැනීම රටේ ජාතික අභිලාෂය බව පවසමිනුයි ඇන්ඩ්‍රියා ලීඩ්සම් (Andrea Leadsom) කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව සටනින් ඉවත් වුණේ.

ස්වදේශ කටයුතු භාර ලේකම්වරිය කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව හැටියට මේ වන විට පත් කරනු ලැබ ඇත.

කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා ආරම්භයේ දී අපේක්ෂකයන් හතර දෙනකු ඉදිරිපත්ව සිටි අතර පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණ පළමු ඡන්ද විමසීමේදීම වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ප්‍රකාශ වුණේ තෙරේසා මේ වෙනුවෙනි.

බ්‍රිතාන්‍යය යුරෝපා හවුලින් ඉවත් වීම සම්බන්ධයෙන් පැවැත්වුන ජනමත විචාරණයෙන් තමා නියෝජනය කළ යුරෝපා හවුල තුළ රැඳී සිටිය යුතුය යන මතය පරාජය වීමත් සමඟ අගමැති ඩේවිඩ් කැමරන් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි අගමැති පදවියේ පුරප්පාඩුවක් ඇති වුණේ.

මේ අතර විපක්ෂයේ ලේබර් පක්ෂ නායකත්වයෙන් ජෙරමි කෝබින් (Jeremy Corbyn) ඉවත් කිරීම සඳහා සටනට අවතීර්ණ වී සිටින ඇන්ජෙලා ඊගල් (Angela Eagle) නිල මට්ටමින් සිය ඉල්ලීම ප්‍රකාශයට පත් කළා.

යම් හෙයකින් ඇය ලේබර් පක්ෂ නායකත්ව අරගලය ජය ගත්තොත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වයත් පළමු වරට කාන්තාවකට හිමි වනු ඇත.