ආණ්‌ඩුව තාමත් ළදරුවෙක්‌

ආණ්‌ඩුව තවමත් මාස 10 ක්‌ සපිරුණු පුංචි ළදරුවකු නිසා විශාල 'බල්ටි' පිළිබඳව බලාපොරොත්තු තබාගත යුතු නැතැයි සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ (05 දා) පැවසීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ හෙතෙම මෙසේ ද කීය.

මේ බදු වැඩිවීම අපේ ආණ්‌ඩුව සිතා මතා කළ දෙයක්‌ නොවෙයි. මේ රට වත්මන් ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට බාර දෙනකොට තිබුණේ ඉතියෝපියාව, උගන්ඩාව වගේ යෑයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

බදු වැඩිවීම රටේ ජනතාවට දරාගත නොහැකි බවට නැඟෙන මැසිවිලි පිළිබඳව අදහස්‌ දැක්‌වූ හෙතෙම මෙසේ ද කීවේය.

මේක තාවකාලික බදු වැඩිවීමක්‌ විතරයි. දැන් අපි යුරෝපා මාළු තහනම ඉවත් කර ගත්තා. ටූනා මත්ස්‍යයා තොග පිටින් යනවා. ඒ වෙනුවෙන් අපේ රටට මුදල් ගලා එනවා. ජී.එස්‌.පී. ප්ලස්‌ සහනය නිසා ඇඟලුම් කර්මාන්තය යළි පිබිදිලා. මේවායෙන් ලැබෙන සහන ඉදිරියේදී ජනතාවට නිසැකවම ලබා දෙනවා.

අපේ ආණ්‌ඩුව තවම ළදරුවෙක්‌ නිසා 2,3,4,5 වසරවලට යනකම් ටිකක්‌ ඉවසන්න. ඒකයි පුංචි දරුවකුගෙන් 'බල්ටි' වගේ විශාල වැඩ බලාපොරොත්තු වෙන්න එපා කිව්වේ. අද අපේ ඇමැතිවරු කැපකිරීම් කරනවා. මමත් හැමදාම ඒ අතර ඉන්න පුද්ගලයෙක්‌.

හොරකම් කරපු පුද්ගලයන්ගෙන් ඒවා නැවත ලබාගෙන ඒ ලැබෙන ජනතාවගේ මුදල් නැවත ජනතාවටම ලබාදීමත් අනිවාර්යයෙන්ම සිදුකරනවා.