රාජ්‍ය ආදායම ඉහළ ගිහින් !

වසර 1990 සිට වසර 2014 දක්වා වසර 24ක් තිස්සේ ශීඝ්‍ර ලෙස පහත වැටෙමින් තිබූ රජයේ ආදායම් ලැබීම් ගත වූ වසර එකහමාර තුළ වැඩි වන්නට පටන්ගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ප්‍රකාශ කෙළේය.

වසර 1990දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 19ක් වූ ශ්‍රී ලංකාවේ බදු ආදායම වසර 2014 වන විට සියයට 10.2 දක්වා ශීඝ්‍ර ලෙස පහත වැටී තිබූ බව කී මුදල් ලේකම්වරයා එය මේ වන විට සියයට 14 දක්වා වැඩිවී ඇතැයි ද කීය.

බදු පරිපාලනයේ හා බදු අය කිරීම්වල පැවැති අඩුපාඩු මඟහරවා විධිමත් ලෙස බදු අය කිරීමට ක්‍රියා කිරීම මීට බලපා ඇතැයි ලේකම්වරයා කීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු‍ව සිය කාර්යභාරය ඉටු කරමින් ගත වූ අවුරුදු 1 1/2 ක කාලය තුළ සියයට 25ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සියයට 37ක් හා සුරාබදු දෙපාර්තමේන්තුව සියයට 50ක් යන ප්‍රතිශතවලින් ආදායම් ඉපැයීම් වැඩි කරගෙන ඇතැයි ද මුදල් ලේකම්වරයා පැවැසීය.

වසර 2014 රජයේ ආදායම් ලැබීම්වලට වඩා වසර 2015, 2016 මුල් කාර්තුව ඇතුළත දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ආදායම් ලැබීම් 1.9කින් වැඩි වී ඇතැයි ද ඔහු කීය. වසර 2014 දී රජයේ බදු ආදායම් ලැබීම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 4.4කින් වැඩිවී ඇතැයි කී ලේකම්වරයා මේ ප්‍රතිශතය අඩුම තරමේ වසර 2020 වන විට සියයට 18 - 20 මට්ටමට හෝ ළඟාකර ගැනීමේ දැවැන්ත අභියෝගය ඇතැයි පෙන්වා දුන්නේය. රජයේ ආදායම් වැඩිකර ගැනීම සඳහා පසුගිය කාලයේ කරන ලද උත්සාහයන් අවාසනාවන්ත ලෙස අසමත් වී ඇති බව දක්නට ලැබෙන බවත් එසේ වීමට මඟපෑදීමක් සිදුව ඇත්නම් කනගාටුවීමෙන් පමණක් පලක් නොවන බවත් ලේකම්වරයා කීය.

බදු ආදායම් ලෙස රජයට ආදායම් එක්කර ගැනීමට මේ වන විට අය බදු වර්ග 35ක් ‍රට තුළ ක්‍රියාත්මක කැරේ.

සමහර බදුවලට අදාළ නීතිවල පැවැති යල් පැන ගිය ස්වභාවය, බදු පරිපාලනයේ තිබෙන ගැටලු, දුර්වල බදු අනුකූලතාවයන් සහ රජයේ ආයතන විසින් ප්‍රදානය කර ඇති විවිධාකාරයේ බදු නිදහස් කිරීම් ද බදු කළමනාකරණය හා බදු ආදායම් අඩුවීමට බලපා ඇත.