ව්‍යවස්ථා සංශෝධනයට සාකච්ඡා අරඹයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමේදී විධායක ජනාධිපතිධූරය හා පළාත් සභා බලතල සම්බන්ධයෙන් ජනමත විචාරණයකට තුඩු නොදෙන එකඟතාවන් ඇතිකර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා මාලාවක් ආරම්භ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු 5 දෙනා බැගින් යුත් කමිටු දෙකක් පත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත් කර ඇති කමිටුවට නිමල් සිරිපාලද සිල්වා, සුසිල් ප්‍රේම්ජයන්ත්, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න යන ඇමතිවරුන් පත් කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයෙන් කමිටුවට මංගල සමරවීර, මලික් සමරවික්‍රම කබීර් හෂීම්, අකිල විරාජ් කාරියවසම්, හා සාගල රත්නායක යන මැති ඇමතිවරුන් පත් කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.


මෙම කමිටුව මේවන විට සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.