ලකුණු සම වෙයි (Video)

cricket
ඊයේ තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකිමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී ලකුණු 286ක් ලබා ගත්තා.

ජොස් බට්ලර් (93) සහ ක්‍රිස් වෝක්ස් (නොදැවී 95) දෙදෙනාගේ ධෛර්යවන්ත පිතිහරඹයත් සමග ලකුණු 287 ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා ගිය නමුත් අවසන් කඩුල්ල පැනගත නොහැකි වූ එංගලන්ත පිල ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව සමකරමින් ටේ‍රන්ට්බි්‍රජ්හිදී පැවැති පළමු එක්දින තරගය පරාජය වීමෙන් වැළකී සිටියේය.

ශ්‍රී ලංකා පිල කඩුලු 9 ක් දැවී ලබාගත් ලකුණු 286 ට පිළිතුරු වශයෙන් එංගලන්ත පිල කඩුලු 8 ක් දැවී ලකුණු 286 ක් ලබාගත්තේ නුවන් ප්‍රදීප්ගේ අවසන් ඕවරයේ අවසන් පන්දුවට ලයාම් ප්ලන්කට් ගැසූ හයේ පහරකින් තරගය අවසන් කරමිනි.

සටන්කාමී පිතිහරඹයක නිරත වූ බට්ලර් සහ වෝක්ස් දෙදෙනා හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 138 ක් එක්කරමින් සිටියදී ‘ලෝන්ග් ඕන්’හි සිට ගුවනේ ඉගිළ ගිය දසුන් ශානක විසින් රැකගන්නා ලද උඩපන්දුවකින් එංගලන්තයේ බලාපොරොත්තු බැලුම පිපිරී ගියේය. එහෙත් අවසන් ඕවර දෙකේදී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 30 සොයා ඇදුණු ක්‍රිස් වෝක්ස් සහ ලයාම් ප්ලන්කට් පන්දු 12 කින් ලකුණු 29 ක් ලබාගනිමින් තරගයේ පරාජයෙන් වැළකුණහ.

අවසන් ඕවරයේ පස්වැනි පන්දුව ලකුණු 2 කට සීමාකරගත හැකිව තිබුණද මොහොතක පමාව නිසා එයින් ලකුණු 3 ක් ලබාගැනීමට එංගලන්ත පිතිකරුවන්ට අවසර ලැබීමේ අත්වැරදීමෙන් පහසුවෙන් ලබාගත හැකිව තිබූ ජයක් ශ්‍රී ලංකා පිලෙන් ගිළිහී ගියේය.