බැසිල් බල්ලෝ නාවපු හැටි

basilබැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන ඇමති ලෙස කටයුතු කළ කාලයේ ඔහුගේ වටිනා සුනඛයන් දෙදෙනාට සත්කාර කිරීම සඳහා නාවික හමුදාවේ සෙබළුන් හය දෙනකු යොදවා තිබුණු බව වාර්තා වෙයි.

‘සුනඛ සංචිතය’ නමින් හැඳින්වුණු මේ නාවික සෙබළුන් කණ්ඩායමට සුනඛයන් බලාගැනීම, නෑවීම, ඇඟ පීරීම, බෙහෙත් ලබාදීම, ආහාර ලබාදීම, අණට කීකරු වීමට පුරුදු කිරීම යන රාජකාරි පැවරී ඇත.

බැසිල් රාජපක්ෂ මහතා සතුව ගෝල්ඩන් රිට්රිවර් වර්ගයේ සුනඛයන් දෙදෙනකු සිට ඇති අතර ඇමරිකාවෙන් ගෙන්වූ එකෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂ 7කි. ඉන්දියාවෙන් ගෙන්වූ අනෙක් සුනඛයාගේ වටිනාකම රුපියල් ලක්ෂ 2කි. මේ සුනඛයන් දෙදෙනාම ශීත කළ පරිසරයකට පමණක් හුරු සතුන් වූ අතර, ඔවුන් රඳවා තබා ඇත්තේ නිවසේ ශීත කළ කාමරයකය. ලංකාවේ සිටින වටිනාකමෙන් වැඩිම සුනඛයන් ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ හා ගුවන් හමුදාවේ වන අතර, බැසිල් රාජපක්ෂ මහතා සතුව සිටි සුනඛයන් ඉහත ආයතන දෙකේ සුනඛයන්ටත් වඩා වටිනා බවට තක්සේරු කර ඇත.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා හා ඔහුගේ පවුලේ අයගේ පහසුව සඳහා නාවික හමුදා සෙබළ සෙබළියන් 64 දෙනෙකු යොදවා තිබුණි. ප‍්‍රවාහන සහායකයන් 12ක්ද, ආහාර සහායකයන්/ආහාර පිසින්නන් 11ක්ද, නිවාස සහායකයන් 26ක්ද, සුනඛ සංචිතය සඳහා 6ක්ද, වෛද්‍ය සහායක 4ක්ද, ශාරීරික අභ්‍යාස සඳහා 2ක්ද පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ පෞද්ගලික සහාය සඳහා කාන්තා සෙබළියන් 3ක්ද අනුයුක්ත කොට තිබී ඇත.
ආරක්ෂක අමාත්‍යාං ශයේ ලිපි හා ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජ්‍ය වියදම් කළමනාකරණය වෙනුවෙන් නිකුත් කර ඇති ලිපිවලට අනුව කැබිනට් ඇමතිවරයකුට හිමි ආරක්ෂක නිලධාරීන් ප‍්‍රමාණය 7 දෙනෙකි. එහෙත් 2015.01.01 වනවිට නාවික නැවියන් 20ක්ද, යුද හමුදා නිලධාරීන් 72ක්ද ඔහු සිය ආරක්ෂාවට යොදවා ඇති අතර, 2010.01.10 සිට 2015.01.10 දක්වා යුද හමුදා නිලධාරීන් 84ක්ද, පොලිස් නිලධාරීන් 7ක්ද, නාවික හමුදා නිලධාරීන් 64ක්ද අනුයුක්ත කරගෙන ඇත.

ඒ අතර 2010 ජනවාරි 10ත්, 2015 ජනවාරි 10ත් අතර කාලය තුළ ඔහු කළ අභ්‍යන්තර ගුවන්ගමන්වල වියදම වන රුපියල් 155,451,612ක් (ලක්ෂ 1554) පියවා ඇත්තේ ගම නැගුම ව්‍යාපෘතියේ අරමුදල්වලිනි. ගම නැගුම වැනි ප‍්‍රාග්ධන ව්‍යාපෘතියකින් පුද්ගල ගුවන් ගමන් වැනි කළමනාකරණ වියදම් කිරීම නීති විරෝධී වේ. අනෙක් අතට මේ ගුවන් ගමන්වලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් ඔහුගේ පෞද්ගලික ගමන් බිමන්ය. 2014 මාර්තු මස මුලදී ගාල්ල ලයිට් හවුස් හෝටලයෙන් ලද තිළිණයක් ලෙස එහි කාමර 3ක නිවාඩුවක් ගත කිරීම සඳහා පවුලේ සියල්ලන්ම එහි ගොස් ඇත්තේද හෙලිකොප්ටරවලිනි. 2014 අගෝස්තු 29 හා සැප්තැම්බර් 2 දිනවල බදුල්ලට ගුවන් ගමනක් සිදුකර ඇති අතර, එය කිසිදු සංවර්ධන ව්‍යාපෘතියකට අදාළ නැත. 2014 ඔක්තෝබර් 26 දින බැසිල් රාජපක්ෂ මහතා බදුල්ල කන්දකැටියේ ආචාර්ය ධම්ම දිසානායකගේ මවගේ අවමඟුලට හෙලිකොප්ටරයෙන් ගොස් ඇති අතර ඒ ගමනට කුලිය ලෙස රුපියල් 553,219ක් ගෙවා ඇත්තේද ගම නැගුම ව්‍යාපෘතියෙනි.

මේ සියලූ ආකාරයෙන් බැසිල් රාජපක්ෂ මහතා රජයට කර ඇති මූල්‍ය හානිය රුපියල් 419,822,413කි.
ඇමතිවරයකු ලෙස රාජපක්ෂ මහතා වෙත අනුමත නිල වාහන 3ට අමතරව තවත් අති සුඛෝපභෝගී හා වෙඩි නොවදින වාහන 14ක් ඔහු පරිහරණය කර ඇති බවද වාර්තා වෙයි. WPGD 7054 (බීඑම්ඩබ්ලිව් අධි ආරක්ෂිත රථය), WPGD 7009 (බීඑම්ඩබ්ලිව් අධි ආරක්ෂිත රථය), WPKC 8510 (රේන්ජ් රෝවර් අධි ආරක්ෂිත රථය) යන රථ ඔහුට නිල වශයෙන් අනුයුක්තව තිබුණ අතර, ඊට අමතරවA385178 (බෙන්ස් අධි ආරක්ෂිත රථය), WPKH 4184 (ඩිපෙන්ඩර් අධි ආරක්ෂිත රථය), WPKY 1090 (බෙන්ස් අධි ආරක්ෂිත රථය),WPKB 7604 (ඩිපෙන්ඩර් රථය),WPKY 5541 (නිසාන් ටියානා රථය), WPLW 0962 (ටොයොටා ගිලන් රථය), WPKL 0336 (රෙක්ස්ටන් අධි ආරක්ෂිත රථය), WPPA7089 (බොලෙරෝ කැබ් රථය), WPKC 2271 (ඩිපෙන්ඩර් රථය), WPKH 1128 (ඩිපෙන්ඩර් රථය) හා WPLC 6632 (ටාටා සිංගල් කැබ් රථය) ඔහු පරිහරණය කොට තිබේ.

මේ කරුණු පදනම්ව රාජ්‍ය මුදල් හා සම්පත්, වරප‍්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතාව රාජ්‍ය දේපොළ සාවද්‍ය පරිහරණය, බලය හෝ අධිකාරිය අනිසි ලෙස පාව්චිචි කිරීම හෝ අවභාවිතය, අධිකාරී බලය පාවිච්චි කර දූෂිත ක‍්‍රියා සිදුකිරීම යන චෝදනා යටතේ බරපතළ දූෂණ සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභාව ඔහු කැඳවා දැන් ප‍්‍රසිද්ධ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ වැරදිවලට අනුබල දීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරද ජනාධිපති කොමිසම හමුවට කැඳවනු ඇත.
රාවය පුවත් පතින්