රෝහිත තවමත් රෝහලේ

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ විරෝධතාවක් අතරතුර දී හදිසි අනතුරකට මුහුණ දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන තවදුරටත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.

මන්ත්‍රීවරයා එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. එහිදී තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශ්‍රියානි විජේවික්‍රම ප්‍රතිකාර ලබා කොළඹ ජාතික රෝහලෙන් ඊයේ පස්වරුවේ නික්ම ගියා.

වැට් ඉහළ දැමීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ දහවල් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කළේ ලේක් හවුස් වට රවුමෙන්.

ඔවුන් ලෝටස් වට රවුම ඔස්සේ, ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට බැංකු මාවත හරහා මුදල් අමාත්‍යාංශය දක්වා ගමන් කළා.

කෙසේ වෙතත්, එම ස්ථානයේ පොලිස් මාර්ග බාධක යොදා තිබුණ හෙයින් විරෝධතාකරුවන් මාර්ග බාධක බිද දමමින් ඉදිරියට ගියා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන බිම ඇද වැටී තිබූ අතර ඔහුගේ හිස මතට පොලිස් මාර්ග බාධකයක් වැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

පසුව මන්ත්‍රීවරයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා.

ඊට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම ද උද්ඝෝෂණය අතරතුර බිම ඇද වැටීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළා.