ගම්මන්පිලගේ අලුත් නොම්බරය

බන්ධනාගාර ගතව සිටින පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන් පිල මහතා පසුගිය බදාදා පාර්ලිමෙන්තුවට පැමිණියේය.

ඔහු පාර්ලිමේන්තුවට පැමිණියේ බන්ධනාගාර බසයකින් වන අතර ගම්මන්පිල පාර්ලිමෙන්තු ලොබියට පැමිණි වහාම ඔහු වටකරගනිමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු බන්ධනාගාරයේ විස්තර විමසා තිබේ.

කොහොම ද අලුත් බෝඩිම යැයි විමසමින් මුළින්ම ප්‍රශ්න අසා ඇත්තේ වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයාය.

වරදක් නෑ හොඳයි යැයි පිළිතුරු දුන් ගම්මන්පිල මහතා තමාව වැටුණේ ඊ වාට්ටුවට යැයි පවසා ඇත.

එහි සිටි රැඳවියෝ තමාව පිළිගත්තේ “ජයවේවා” යැයි කියමින් බවද කී ගම්මන්පිල මහතා තමාගේ අංකය 4643 බවද සඳහන් කර තිබේ.

වේල් කිහිපයක් බත්, එළවළු හා පොල් සම්බෝල සමඟ කෑ බවද පැවසා ඇති ඒ මහතා නිදා ගැනීමට ලැබුණේ පැදුරක් බවත්, පළමු දිනයේ නින්ද නොගිය බවත් පවසා තිබේ.

තමාට ඊ වාට්ටුවේ කාමරයක් පිරිසිදු කර දුන්නේ ඊ වාට්ටුවේ රැඳවින් යැයි පවසා ඇති ඔහු කෙසේවුවද ඒ කාමරයේ තනියෙන් සිටීමට සිදුවූයේ එක් දිනක් පමණක් බවද පවසා ඇත.

ඒ මුසාමිල් මහතාද ඒ කාමරයටම පැමිණි නිසා යැයි සඳහන් කළ ගම්මන් පිල මහතා දැන් තමා ඔහු සමඟ දේශපාලන වාද විවාද කරමින් සිටින බවද පවසා තිබේ.